වහපු පාරවල් නැවත විවෘත කිරීම ගැන නිවේදනයක්
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256 අතුරින් මේ වන විට මාර්ග 192කට වැඩි ප්‍රමාණයක් රථ වාහන ගමනාගමනය සඳහා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
අද (06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම මාර්ග 192 අතුරින් ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇත්තේ තාවකාලික ක්‍රම උපයෝගී කරගෙන බවය.
එමෙන්ම එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි සිදුවූ සියලුම මාර්ග රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය. මෙම මාර්ග අතුරින් මධ්‍යම පළාතේ මාර්ග අභියෝගයක් බවට පත්ව ඇතැයිද සඳහන් කළ ඒ මහතා පැවසුවේ අනෙකුත් පළාත්වල මාර්ග 95%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවය.
මධ්‍යම පළාත තුළ ඇතැම් මාර්ග මහජනතාව සඳහා විවෘත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විට සාකච්ඡා කර එළැඹෙන සතිය වන විට විවෘත කිරීමට නියමිත මාර්ග අධීක්ෂණය කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම මාර්ග විවෘත කිරීම හරහා සියලුම මාර්ග රථවාහන ධාවනය සඳහා විවෘත වන බවත් මේ වන විට සෑම නගරයකටම යා හැකි පරිදි එක් මාර්ගයක් හෝ විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම කොළඹ - නුවර ඉදිරි දින කිහිපය තුළ පැය 24 පුරාම රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට සූදානම් වන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ වන විට උදෑසන 6 සිට සවස 6 දක්වා රථ වාහන ධාවනය සඳහා එම මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන ඇති බවය.
සවස 6 සිට රාත්‍රි කාලයේදී එම මාර්ගයේ නායයෑමට ලක්වූ කොටස් ඉවත් කිරීම සහ මේ වන විට මාර්ගය වෙත වැටී ඇති ගල් පුපුරවා හැරීම සිදුකරනු ලබන බවත් මේ සඳහා තවත් දවස් කිහිපයක් අවශ්‍ය වනු ඇති බවත් ඒ අනුව සියලු බාධක ඉවත් කළ පසු එම මාර්ගයද සියලු රථ වාහන සඳහා විවෘත කිරීමට හැකි බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.