රුසියාවෙන් කියෙව් අගනුවරට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් 13ක් මරුට
යුක්රේනයේ අගනුවර වන කියෙව් (Kyiv) නගරයට රුසියාව එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීහු පවසති.
බැලිස්ටික් සහ කෲස් මිසයිල මෙන්ම ඩ්‍රෝන යානා භාවිත කරමින් එල්ල කළ මෙම රාත්‍රී ප්‍රහාරවලින් නේවාසික ගොඩනැගිලි සහ සිවිල් යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව තිබේ.
කියෙව් නගරාධිපති විතාලි ක්ලිට්ස්කෝ සඳහන් කළේ තුවාල ලැබූවන් අතරින් 70 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.
ඩාර්නිට්ස්කි (Darnytskyi) ප්‍රදේශයේ හානියට පත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවූවන් සොයා සහන සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
එමෙන්ම මධ්‍යම කියෙව්හි ෂෙව්චෙන්කෝ බුල්වාර්ඩ් (Shevchenko Boulevard) ප්‍රදේශයේ හෝටලයක වහලට ගිනි ඇවිළී ඇති අතර, රුසියානු මිසයිලයක් සෘජුවම වැදීමෙන් මහල් නිවාස ගොඩනැගිල්ලක මහල් හයක් අර්ධ වශයෙන් කඩා වැටී තිබේ.
ප්‍රහාරයෙන් පසු නගරයේ ස්ථාන 30කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව කියෙව් හමුදා පරිපාලන ප්‍රධානී ටිමූර් ට්කාචෙන්කෝ ප්‍රකාශ කළේය.
මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේ රුසියාව විශාල ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබීම හේතුවෙන් තම අයර්ලන්ත සංචාරය කෙටි කර යළි දිවයිනට පැමිණි බවයි.
මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ පසුගිය දිනවල යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර මොස්කව් සහ රුසියාවේ තෙල් පිරිපහදුවක් ඉලක්ක කර එල්ල කිරීමෙන් අනතුරුවය. යුද්ධය ආරම්භ වූ දා සිට දෙපාර්ශ්වයම ඩ්‍රෝන සහ දිගු දුර ප්‍රහාරක අවි භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.