පවතින තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කෙරේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 12ක් විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.
ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කලාවැවෙහි වාන් දොරටු විවෘත කිරීම නිසා රාජාංගනය ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම මෙම තීරණයට හේතු වී ඇත.
'ජලාශයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (11) පස්වරුවේ සිට අදියර කිහිපයක් යටතේ මෙලෙස වාන් දොරටු විවෘත කිරීමේ සංඛ්‍යාව වැඩි කළ බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
ඒ අනුව දැනට පවතින තත්ත්වය මත වාන් දොරටු 04ක් අඩි 06 බැගින් ද, තවත් වාන් දොරටු 04ක් අඩි 05 බැගින් ද සහ ඉතිරි වාන් දොරටු 04 අඩි 04 බැගින් ද විවෘත කර තිබේ.
මෙමඟින් තත්පරයට ඝන අඩි 14,287ක අතිවිශාල ජල කඳක් කලා ඔය වෙත මුදා හැරෙන බැවින්, කලා ඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව සහ ගංගාව පරිහරණය කරන පුද්ගලයන් සිය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව බලධාරීන් අවධාරණය කරයි.