මිනිසෙකු වගේ වැඩ කරන AI රොබෝවක් හදන්න සකර්බර්ග්ගෙන් අලුත් මෙහෙයුමක් - මානවරූපී 'Max' කරළියට
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සැබෑ ලෝකය තුළ මිනිසෙකු මෙන් ක්‍රියා කළ හැකි මට්ටමට ගෙන යාමේ අරමුණින් Meta සමාගම නව මානවරූපී රොබෝවක් නිර්මාණය කර තිබේ.
'Max' ලෙස නම් කර ඇති මෙම රොබෝව නිර්මාණය කර ඇත්තේ Meta සමාගම චීනයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන Fourier සමඟ එක්වය.
මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ එහි මූලාකෘතිය නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිලෝග්‍රෑම් 48ක පමණ බරකින් සහ අඩි පහක පමණ උසකින් යුත් Max රොබෝවට ඇඟිලි පහක් සහිත දෑත්, ශබ්ද විකාශන යන්ත්‍ර සහ මුහුණේ ඉරියව් අනුකරණය කළ හැකි තිරයක් ද ඇතුළත්ය.
මෙය හුදෙක් Fourier සමාගමේ රොබෝවකට Meta සමාගමේ ලාංඡනය එක් කිරීමක් පමණක් නොවන බවද වාර්තා වේ. Fourier සමාගමේ පෙර රොබෝ මාදිලි තුනක තාක්ෂණික අත්දැකීම් සහ දෘඩාංග පදනම් කරගනිමින් Max හි උස, ශරීර හැඩය, හිස, තිරය, කැමරා, දෑත් සහ පාවහන් ඇතුළු අංග වෙනස් කර තිබේ.
Meta සමාගම මෙම රොබෝව මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවශ්‍යතා කිහිපයක් ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව මීටර් පහක් පමණ දුරක සිට පුද්ගලයෙකුගේ හඬ හඳුනාගැනීම, මීටර් තුනක පමණ දුරක සිට අත් සංඥා හඳුනාගැනීම සහ පුද්ගලයන් සමඟ ඇස් සම්බන්ධතාව පවත්වා ගැනීම ඊට ඇතුළත්ය.
එමෙන්ම තමන් සවන් දෙනවාද, සිතමින් සිටිනවාද, කතා කරනවාද නැතහොත් යම් දෙයක් පිළිබඳ අවිනිශ්චිතතාවක සිටිනවාද යන්න ඉරියව් මගින් පෙන්වීමට ද රොබෝවට හැකි වන පරිදි එය සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා Meta සමාගම අපේක්ෂා කරන්නේ තමන්ගේ 'Muse' කෘත්‍රිම බුද්ධි පද්ධතිය සැබෑ ලෝකය තුළ ක්‍රියා කළ හැකි භෞතික ස්වරූපයකට පත් කිරීම බව වාර්තා වේ. එනම් පරිගණක තිරයකට සීමා නොවී මිනිසුන් සමඟ සෘජුව අන්තර් ක්‍රියා කළ හැකි AI සහායකයෙකු නිර්මාණය කිරීමයි. මේ අතර, Max රොබෝවේ දෙවැනි මූලාකෘතියක් නිර්මාණය කිරීමේ කටයුතු ද Meta සමාගම ආරම්භ කර ඇති බව සඳහන් වේ.
එහි ශරීරයේ මැද කොටස නවීකරණය කිරීම, වස්තූන් වඩාත් හොඳින් හැසිරවිය හැකි දෑත් නිර්මාණය කිරීම, දෘශ්‍ය තොරතුරු ප්‍රදර්ශනය කළ හැකි ප්‍රොජෙක්ටරයක් එක් කිරීම සහ පඩිපෙළ හඳුනාගෙන ගමන් කිරීමට අමතර සංවේදක සවි කිරීම එම සැලසුම් අතර වේ.
Max රොබෝව ක්‍රියාත්මක වන්නේ Nvidia සමාගමේ Jetson Thor පරිගණක වේදිකාව භාවිතයෙනි. එහි මුහුණේ ඇති තිරය මගින් ඇස් සහ මුඛයේ චලනයන් ඇතුළු විවිධ මුහුණේ ඉරියව් අනුකරණය කළ හැකිය. එමෙන්ම පපුවේ සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් සහ කුඩා බෝතල් හා සෙල්ලම් බඩු වැනි දෑ අල්ලාගත හැකි දෑත් ද ඊට ඇතුළත්ය.
ට්‍රම්ප්ගේ ඉහමොළ රත් වෙයි - ඇමරිකාවේ ඉතා උණුසුම් තත්ත්වයක් - හෙට තියෙන මැතිවරණෙට මිලියන 53කට අධික පිරිසක් කල්තියා ඡන්දය ප්‍රකාශ කරයි
මෙම රොබෝව නිර්මාණය කිරීමේදී Meta සමාගමේ රොබෝ තාක්ෂණ අංශයේ නිෂ්පාදන උප සභාපතිවරයා මාස දෙකකට ආසන්න කාලයක් ෂැංහයිහි පිහිටි Fourier කර්මාන්තශාලාවේ රැඳී සිටිමින් කටයුතු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, Max රොබෝව වාණිජ මට්ටමින් අලෙවි කිරීමට මෙතෙක් සැලසුමක් නොමැති බව Meta සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
දැනට මෙම සහයෝගීතාව අභ්‍යන්තර පර්යේෂණ සහ අත්හදා බැලීම් සඳහා පමණක් සීමා වී ඇත.
Meta සමාගම රොබෝ තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීම අලුත් දෙයක් නොවේ.
පසුගිය වසරේ මුල් භාගයේදී Meta Robotics Studio ආරම්භ කර ඇති අතර, 2026 මැයි මාසයේදී Assured Robot Intelligence නමැති ආයතනය ද අත්පත් කරගෙන තිබේ.
එම ආයතනය මිනිස් හැසිරීම් හඳුනාගෙන විවිධ පරිසරයන්ට අනුවර්තනය විය හැකි රොබෝවරුන් සඳහා AI ආකෘති සංවර්ධනය කරයි.
මේ වන විට මානවරූපී රොබෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් ලොව ප්රමුඛ පෙළේ සමාගම් අතර තරගය ද උණුසුම් වී තිබේ.
ඉලෝන් මස්ක්ගේ Tesla සමාගමේ Optimus රොබෝව, Figure සමාගමේ රොබෝවරුන් සහ 1X Technologies සමාගමේ NEO රොබෝව ඒ අතර ප්‍රධාන වේ.
විශේෂයෙන්ම චීනය මානවරූපී රොබෝ නිෂ්පාදනයේ ප්‍රබල මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති පසුබිමක Meta සමාගම චීන සමාගමක් සමඟ එක්ව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ද විශේෂ අවධානයට ලක්ව ඇත.