බදු පිට බදු ගහලාත් රටේ සංවර්ධනයක් නැහැ - ආණ්ඩුවට එරෙහිව කාරියවසම්ගෙන් දැඩි චෝදනාවක්
වත්මන් ජනාධිපතිවරයා ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති අතර, එසේ බදු පැනවීම සම්බන්ධයෙන් ආඩම්බර වන තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා චෝදනා කරයි.
අද (02) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන්ද බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බව ප්‍රකාශ කළ කාරියවසම් මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයකු මානසික රෝගී තත්ත්වයකට පත්වුවහොත් හෝ සිහිසුන් තත්ත්වයක සිටියහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බව පැවසීය.
පසුගිය සෙනසුරාදා පැවති ජාතික බුද්ධි සංවිධාන රැස්වීම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් බලයට පත්වීමෙන් පසු කිසිදු නව බද්දක් හඳුන්වා දී නොමැති බවත්, පැවති බදු ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කර තිබූ බව ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, 2024 වසරේ බලයට පත්වීමෙන් පසු වත්මන් ආණ්ඩුව විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා නව බදු සහ බදු සංශෝධන රැසක් හඳුන්වා දී ඇති බවට කාරියවසම් මහතා චෝදනා කළේය.
ඒ අනුව, 2025 වසරේදී වාහන, මධ්‍යසාර, පැණිරස පාන වර්ග සහ දුම්වැටි සඳහා 6%ක නව බද්දක් හඳුන්වා දුන් බවත්, එම වසරේ පෙබරවාරි මාසයේදී විදුලි වාහන සඳහා බදු 100%කින් ඉහළ නංවා 20%ක ආනයන බද්දක් සහ 50%ක අධිභාරයක් පනවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේදී රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වාත්, මධ්‍යසාර, දුම්කොළ සහ සූදු ආයතන සඳහා වන ආයතනික බද්ද 40% සිට 45% දක්වාත් ඉහළ නංවා ඇති බව ඔහු පැවසීය. විදේශීය සේවා සපයන්නන් සඳහා 15%ක නව බද්දක්ද හඳුන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 මැයි මාසයේදී සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම සහ වාහන ආනයනය සඳහා 2.5%ක අධිභාරයක් පැනවීම සිදුකර ඇති බවත්, එම වසරේ ජුනි මාසයේදී ප්‍රාග්ධන ලාභ බද්ද පුද්ගලයන් සඳහා 10% සිට 15% දක්වාත්, අන්‍යෝන්‍ය අරමුදල් සඳහා 10% සිට 30% දක්වාත් ඉහළ නංවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, කලාකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ඇතුළු පිරිස් රඳවා ගැනීමේ බද්දට අලුතින් ඇතුළත් කර ඇති බවත්, 2026 ජූලි මාසයේදී ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් පනවා ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙවැනි බදු පැනවීම් සිදුකර තිබියදී ජනාධිපතිවරයා බදු වැඩි කර නොමැති බවට ප්‍රකාශ කිරීම ඔහුගේ නොදැනුවත්කම පෙන්නුම් කරන බවද කාරියවසම් මහතා චෝදනා කළේය. බදු ආදායම ඉහළ නැංවීම හේතුවෙන් අයවැය හිඟය අඩු වී ඇති බවට රජය ප්‍රකාශ කළද, එම ආදායම්වලට සාපේක්ෂව රට තුළ සංවර්ධන කටයුතු සිදුව නොමැති බවද ඔහු පැවසීය.
පෙර පැවති ආණ්ඩු විසින් බදු මුදල් යොදා ගනිමින් පාසල් විද්‍යාගාර, විශ්වවිද්‍යාල පීඨ සහ රෝහල් වාට්ටු ඉදිකිරීම් සිදුකළ බව සිහිපත් කළ ඔහු, වත්මන් ආණ්ඩුවේ පසුගිය වසර දෙකක පාලන කාලය තුළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා කළේය. මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇති බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාරියවසම් මහතා කියා සිටියේ, මීට පෙර යුද්ධය හේතුවක් කරගනිමින් ආර්ථිකය කළමනාකරණය කළ නොහැක්කේ මන්දැයි විමසූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අද ඔහු වෙතම නැවත පැමිණ ඇති බවයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ ගෑස් හිඟය වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ අසාර්ථකත්වය පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවටද කාරියවසම් මහතා චෝදනා කළේය.
නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු නොකර, රටින් පලා ගිය පුද්ගලයකුගේ ප්‍රකාශයක් මත පදනම්ව මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තරුණ දේශපාලන නායකයකු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පවතින බිය පෙන්නුම් කරන බවද ඔහු පැවසීය. රට තුළ නීතියේ ආධිපත්‍යය පිරිහෙමින් පවතින බවත්, පොලිස් ස්ථාන ආශ්‍රිතව තරුණයන්ට ජීවිත අහිමි වන සිදුවීම් වාර්තා වන බවත් සඳහන් කළ කාරියවසම් මහතා, රට තුළ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව උත්සාහ කළද ප්රජාතන්ත්රවාදයට ගරු කරන ජනතාව ඊට ඉඩ නොදෙනු ඇති බව අවධාරණය කළේය.