කට නිසා කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ට වැඩ වරදියි
වත්මන් රජයේ කාන්තා සහ ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සම්බන්ධ ප්‍රකාශ වලින් ඊයේ දින සිට සමාජ මාධ්‍ය අවකාශය පිරි ගොස් තිබේ. ඒ ඇය විසින් ඊයේ දිනයේදී එනම් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මෙම දැරිය ඉකුත් අප්‍රේල් මස 29 වන දා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයකින් බිමට පැන සියදිවි නසා ගෙන තිබූ බව පොලිසිය වාර්තා කර තිබූ අතර, එලෙස සියදිවි නසා ගත් දැරිය ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ ගුරුවරයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම පාසල ඉදිරිපිට ඊයේ දිනයේදී (මැයි 8)විරෝධතාවක් ද පැවැත්විණි.
එමෙන් ම දෙසැම්බර් මාසයේදී සිදු වූ බව කියන අපයෝජන සිදුවීම අළලා මිය ගිය දැරියට අපහස කළ බවට ටියුෂන් ගුරුවරයෙකුට ද චෝදනා එල්ල වී ඇති අතර, එම පුද්ගලයා ජාතික ජනබලවේගයේ ආධාරකරුවෙකු වන බවට සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විරෝධතාවය පැවැත්වෙන අතරතුර ඒ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සිදු කළ කරුණු දැක්වීමකට කාන්තා සහ ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දමිල භාෂාවෙන් දැක් වූ ප්‍රතිචාරය සිංහලයට පරිවර්තනය කොට ඇතැම් මාධ්‍ය විසින් පළකොට තිබුණේ මෙසේය.
"මේ ළමයා දූෂණයට පත්වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් JMO රිපෝට් එකක් [අධිකරණ වෛද්‍ය වාර්තාවක්] අරගෙන තියෙන්නේ. මම කිව්වා මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් දාන්න කියලා. දෙමව්පියන්ට පෙත්සමක් අරගෙන ඇවිත් මාව හම්බවෙන්න කිව්වා. තාමත් ඒ අය ආවේ නෑ. සමාජ මාධ්‍යවලින් යුක්තිය ඉටුකරගන්න බෑ. නීතිය අතට ගන්නත් බෑ."
ඇමතිවරියගේ මෙම ප්‍රකාශයත් සමග සමාජ මාධ්‍ය තුළ මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල සංවාදයක් මතුව ඇති අතර, බොහෝ දෙනෙකු මෙම ප්‍රකාශයට දැඩි විරෝධය දක්වා තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ඇමතිවරිය දෙමව්පියන්ගේ පෙත්සම් ලැබෙන තුරු නොසිට මෙම සිදුවීම සමබන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කිරීමට තිබූ බව ය. මේ සම්බන්ධයෙන් ඊයේ සහ අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
