ජිනීවාහිදී ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජාතික ක්‍රියාවලීන්, සංවාද සහ සහයෝගීතාව හරහා රටක් ප්‍රගතියක් පෙන්වන විට, අදාළ රටවලට විශේෂිත වූ යෝජනා අවසන් කිරීම සඳහා විශ්වාසදායක මාවතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සැපයිය යුතු බව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තානාපති සුමිත් දසනායක මහතා අවධාරණය කරයි.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේ සාමාන්‍ය විවාදයේදී අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව පැවසීය. මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත යාවත්කාලීන වාර්තාව ද කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.
ගෝලීය වශයෙන් දැවෙන මානුෂීය අර්බුද පවතින අවස්ථාවක කවුන්සිලයේ සම්පත් වඩාත් දැවෙන අභියෝග වෙත යොමු කළ යුතු බව පෙන්වා දුන් සුමිත් දසනායක මහතා, රට-විශේෂිත යෝජනාවලට කාලසීමා අවසන් කිරීමේ වගන්ති ඇතුළත් කරන ලෙස ද ඉල්ලා සිටියේය. මෙහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනයට ලබා ඇති ප්‍රගතිය අගය කරමින් රටවල් කිහිපයක්ම අදහස් දැක්වූ බව ද ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සඳහන් කරයි.