කඳුරට හින්දු පූජකවරුන්ගේ ගැටලු ගැන ජනපති ලේකම් සමඟ සාකච්ඡාවක්

Report

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී කඳුරට ප්‍රදේශවල හින්දු පූජකවරුන් මුහුණ දෙන ගැටලු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කඳුරට ප්‍රදේශවල හින්දු කෝවිල්වල පරිපාලන කටයුතු, දහම් පාසල් පවත්වාගෙන යාම, පූජකවරුන්ගේ අවශ්‍යතා මෙන්ම කෝවිල් ඉඩම් සහ ආගමික ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංවිධානය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ ඒ සඳහා රජයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

කඳුරට හින්දු පූජකවරුන් ජීවත් වන ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිවශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එම සංවිධානයේ ආගමික නායකයන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.