ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ශ්‍රී ලංකා භූමියට ඉඩ තබන්නේ නෑ - ජනපති අනුර
ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
මෙරටට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (9) කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
එමෙන්ම, දෙරට අතර පවතින ඓතිහාසික හා අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයන් දෙදෙනා එකඟ වූ බවද එම නිවේදනයේ දැක්වේ.
මේ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වූ අවස්ථාවේදී ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ ඉන්දියාව ලබාදුන් මානුෂීය සහන හා පුනරුත්ථාපන සහාය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්දීය රජයට සිය කෘතඥතාව පළ කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සඳහන් කර ඇත්තේ, ආසන්නතම අසල්වැසියා සහ මිතුරා ලෙස ශ්‍රී ලංකාවට පළමු ප්‍රතිචාර දක්වන්නා වශයෙන් සහාය ලබාදීම ඉන්දියාවේ වගකීමක් ලෙස සලකන බවයි.
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවලදී එම සහාය අඛණ්ඩව ලබාදීමට ඉන්දියාව කටයුතු කරන බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.