නව චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ හමුවීමට නිවසටම යයි

Report

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (09) පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්විණි.

පසුගිය අගෝස්තු 25 වැනිදා සිය අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළ වෙයි හුආෂියැන්ග් මහතා වෙත මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය හෘදයාංගම සුබ පැතුම් පළ කළේය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාද සහභාගී වී තිබේ.

හමුව අතරතුරදී චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය වඩාත් සමීපව අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසන සාම්ප්‍රදායික චීන සිතුවම් ඇතුළත් විශේෂ ග්‍රන්ථයක්ද චීන තානාපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

එම ත්‍යාගය වෙනුවෙන් තානාපතිවරයා වෙත සිය ස්තුතිය පළ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සබඳතා පිළිබඳවද මෙහිදී අදහස් පළ කළේය.

ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ජනතාව සමඟ සුහදත්වයෙන් යුතුව චීනය පවත්වාගෙන යන සබඳතා මෙන්ම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට චීන රජය විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කිරීමටද හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේය.