තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක සහ විදේශ රැකියා නියෝජිත ආයතනයකට කඩා වැදී සේවකයන් දණගස්වා රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ මහාමොළකරු සහ රියැදුරු ලෙස කටයුතු කළ සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයක මුදලක්, කොල්ලයට යොදාගත් මෝටර් රථයක් සහ සොරාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු අදාළ ආයතනයේ හිටපු උප නියෝජිතයෙකු බවයි.
ඔහු අදාළ ආයතන හිමිකරුට ලබාදීමට තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ණය මුදලක් හේතුවෙන් ඇති වූ වෛරයක් මත, නවගමුව පොලීසියේ හිටපු කම්කරුවෙකු ඇතුළු තවත් පිරිසක් සම්බන්ධ කරගනිමින් ඉකුත් 01 වනදා තියුණු ආයුධවලින් සන්නද්ධව මෙම කොල්ලය සිදුකර ඇති බවට කරුණු හෙළිව තිබේ.
සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර සසුදින අනෙක් සැකකරුවන් ඇල්ලීමට ද පොලීසිය විමර්ශන පවත්වයි.