මිනිස්-අලි ගැටුමට විසඳුම් හොයන්න බිලියන 2ක දැවැන්ත පියවරක් වනජීවී නිලධාරීන්ට අලුත්ම වාහන තොගයක්

By Kanchana Jul 27, 2026 10:28 AM GMT
Report

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් මිනිස්-අලි ගැටුම කළමනාකරණය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව වාහන ඇණියක් දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ.

වනජීවී සංරක්ෂණ සහ බීට් කාර්යාලවල සේවයේ නිරත නිලධාරීන්ගේ රාජකාරි පහසු කිරීම සඳහා වාහන 294ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් සඳුදා (27) පැවති උත්සවයකදී එම වාහන ඇණියේ කොටසක් සංකේතාත්මකව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම වාහන ඇණියට කැබ් රථ 16ක් සහ යතුරුපැදි 181ක් ඇතුළත් වන අතර, ඒවා ප්‍රසම්පාදනය කිරීම සඳහා රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි.

මෙම වාහන බහුල වශයෙන් මිනිස්-අලි ගැටුම් වාර්තා වන ප්‍රදේශවල පිහිටි වනජීවී කාර්යාල වෙත යෙදවීමට නියමිත බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. මීට අමතරව, පසුගිය ජුනි 20 වැනිදා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නව ට්‍රැක්ටර් නවයක් ද භාර දී තිබේ.