දේශපාලන බලපෑම් මත ස්ථාන මාරු දුන් නිලධාරියා වෙනුවෙන් පෙරට ආ ගම්වාසීන්
දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ල වී තිබූ හේරත්ගම වන අඩවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයා වශයෙන් රාජකාරි කළ චතුර ගුණරත්නට ස්ථාන මාරුවක් ලබා දී ඇත.
එහෙත් එම නිලධාරියාව නැවත කහල්ල - පල්ලේකැළේ රක්ෂිත කලාපයට අනුයුක්ත කරන මෙන් එම ප්‍රදේශයේ ජනතාව අද දින පොල්පිතිගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයට පැමිණ ඉල්ලීමක් කර ඇති බව වාර්තා විය.
ඉකුත් දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල - පල්ලේකැළේ රක්ෂිත කලාපයට අයත් හක්වටුණා ඔය වැව් රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයේ ඇතැම් ස්ථාන විවිධ පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින බවට පුවත් පළව තිබුණා.
ඒ අනුව වැව් රක්ෂිතයේ ඇතැම් ස්ථාන අනවසරයෙන් අත්පත් කරගෙන සිටින එම පුද්ගලයින්ට විරුද්ධව හේරත්ගම අඩවිය භාර වනජීවි නිලධාරීන් නීත්‍යානුකුලව පියවර ගෙන තිබෙනවා.
එහෙත් එම නිලධාරීන්ට දේශපාලන අධිකාරියෙන් බලපෑම් එල්ලවීමත් සමග හේරත්ගම අඩවියේ ස්ථාන භාර නිලධාරී චතුර ගුණරත්න එම අඩවිය අතහැර යාමට තීරණය කර ඇති බව ද වාර්තා වී ඇත.
ඒ අනුව මෙම ගැටලුව පිළිබඳව තොරතුරු අනාවරණ කළ ගම්වැසියන්ට විරුද්ධව ද පිරිසක් පන්සියගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව සඳහන්. එබැවින් ඔවුන්ව ඉකුත් 24 වැනිදා එම විමර්ශනයක් වෙනුවෙන් පොලිසියට කැඳවා ඇත.
මේ අතර හේරත්ගම අඩවියේ ස්ථානභාර නිලධාරීවරයා රාජකාරි සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ඉකුත් දිනක දේශපාලකයකුගේ විවේචනයට ද ලක්ව තිබෙන බව සඳහන්.
එවැනි තත්ත්වයක හේරත්ගම අඩවියේ ස්ථාන භාර නිලධාරී චතුර ගුණරත්නට කුරුණෑගල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.
එබැවින් එම නිලධාරියාව නැවත කහල්ල - පල්ලේකැළේ රක්ෂිත කලාපයට අනුයුක්ත කරන මෙන් එම ප්‍රදේශයේ ජනතාව අද දින පොල්පිතිගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයට පැමිණ ප්‍රාදේශිය ලේකම්වරයා හමුවී ඉල්ලිමක් කර තිබුණා.