LGBTQ+ නිසා අමෙරිකා උසාවිය උණුසුම් වෙයි
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දිනයෙන් ආරම්භ වන නව මාස 09ක ධුර කාලය තුළ දී රටේ සංස්කෘතික යුද්ධ හා සම්බන්ධ ආන්දෝලනාත්මක නඩු මාලාවක් විභාග කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව මෙම මතභේදාත්මක ගැටලු අතර, ලිංගිකත්වය වෙනස් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ නීති පරීක්ෂා කිරීම, සමලිංගික පරිවර්තන ප්‍රතිකාර තහනම් කිරීමට විරුද්ධ අභියෝග, හවායි හි අත් තුවක්කු සීමාවලට අභියෝග කිරීම සහ ඡන්ද අයිතිවාසිකම් පනතේ විධිවිධාන අනතුරේ හෙළීම යනාදිය ද ඇතුළත් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, බර්ක්ලි නීති විද්‍යාලයේ පීඨාධිපති අර්වින් චෙමරින්ස්කි කියා ඇත්තේ "පසුගිය වසරේ මෙන්ම, මෙම ධුර කාලය තුළදී ද ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් සංස්කෘතික යුද්ධ සහ ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය තුළින් පැන නගින, අපේ රට දැඩි ලෙස බෙදන, ගැටලුවලට මුහුණ දෙනු ඇති" බවයි.
මේ අතර හෙට දිනයේ මෙම නඩු අතරින් පළමුවැන්න විභාග කිරීමට නියමිතව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී, පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීම අරමුණු කරගත් පරිවර්තන ප්‍රතිකාර තහනම් කරන, ඩිමොක්‍රටික් පාර්ශවයේ සහාය ලත් කොලරාඩෝ නීතියක නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් තර්ක ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එසේම මෙම නීතියට අභියෝග කළ ක්‍රිස්තියානි වෘත්තීය උපදේශකවරියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සහාය දක්වන බව ද පවසයි.
ඒ අනුව කොලරාඩෝ නඩුවේ පැමිණිලිකාරිය මෙම රාජ්‍ය නීතිය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයේ නිදහස් කථන ආරක්ෂාවන්ට විරුද්ධව කටයුතු කරන බවත්, සේවාදායකයන් සමඟ ඇයගේ සන්නිවේදනය නීති විරෝධී ආකාරයට වාරණය කරන බවටත් තර්ක කරයි.
තවද පහළ උසාවි මෙම නීතියේ වලංගුභාවය තහවුරු කළ ද පළමු සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ බහුතරයේ ප්‍රතිචාරය අවශ්‍ය වන බවත් ය.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය 6-3 ක කන්සර්වේටිව් බහුතරයකින් සමන්විත වේ.
එමෙන්ම ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය ස්ටෙෆනි බාක්ලේ (Stephanie Barclay) පුරෝකථනය කරන්නේ උපදේශකවරියට පක්ෂව 6-3 ක ඡන්දයක් ලැබෙනු ඇති බවයි.
මේ අතර කොලරාඩෝවේ නීතිපති ෆිල් වයිසර් අධිකරණ ලේඛනයක් මගින් පරිවර්තන ප්‍රතිකාරය විශාදය වැඩි වීම සහ සියදිවි නසාගැනීමේ උත්සාහයන් සමඟ සම්බන්ධ වී ඇති බව පවසයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළමු සංශෝධනය මගින් රෝගීන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිකාරවලින් ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය හැසිරීම් සාධාරණ ලෙස නියාමනය කිරීමට ප්‍රාන්තවලට අවසර දෙන බවයි.
කොලරාඩෝවේ නීතිය මත සේවාදායකයා ප්‍රතිකාර සොයමින් එම වෙනස බලාපොරොත්තු වුවත් පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට උත්සාහ කරන ඕනෑම ප්‍රතිකාරයක් දරුවන් මත සිදු කරන්නේ නම් ඒ පිළිබඳව මානසික සෞඛ්‍ය වෘත්තිකයන් විනය ක්‍රියාමාර්ගවලට යටත් වන බවත් සඳහන්.
මෑත වර්ෂයන්වල දී ශ්‍රේෂ්ඨාධිකරණය කොලරාඩෝවේ රාජ්‍ය,වෙනස්කම් කිරීම්වලට විරුද්ධව නීතිවලට අභියෝග කළ ක්‍රිස්තියානි පැමිණිලිකරුවන්ට පක්ෂව තීන්දු ලබා දී ඇත.
ඒ අනුව එක් නිදසුනක් නම් සමලිංගික යුවළක් සඳහා විවාහ කේක් සෑදීම ප්‍රතික්ෂේප කළ බේකරිකරුවෙකුට පළමු සංශෝධනයේ ආගමික නිදහස පදනම මත අධිකරණ සහාය හිමිවීමයි.
කෙසේ වෙතත් මෙම ධුර කාලය තුළදී ද අධිකරණය යළි ආගමික නිදහස සහ නිදහස් කථනය කේන්ද්‍ර කරගත් මෙවැනි සංස්කෘතික ගැටලු විභාග කරනු ඇති බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දැක්වුවා.