වොෂින්ටනය නොසන්සුන් වෙයි - මධ්‍යස්ථාන 18ක් එක්ක රුසියාවයි චීනෙයි කියුබාව තුළ කරන්න යන දේ
ඇමරිකානු දේශසීමාවට ආසන්නව සිදු කෙරෙන විදේශීය ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් නිසා වොෂින්ටනයේ නොසන්සුන්තාවය වැඩි කරමින්, රුසියාව සහ චීනය කියුබාව තුළ තම බුද්ධි තොරතුරු මෙහෙයුම් පුළුල් කරමින් සිටින බවට ඇමරිකානු බලධාරීන් කනස්සල්ල පළ කර ඇත.
ඒ අනුව The Wall Street Joual පුවත්පත වාර්තා කළ ඇමරිකානු බුද්ධි අංශ තක්සේරුවලට අනුව, බීජිං සහ මොස්කව් පාලනයන් ඉකුත් 2023 වසරේ සිට කියුබානු දූපතේ පිහිටි ඉලෙක්ට්‍රොනික ඔත්තු බැලීමේ මධ්‍යස්ථාන නවීකරණය කර තිබෙනවා.
එසේම එහි සිටින බුද්ධි අංශ නිලධාරීන් සංඛ්‍යාව ද ඉහළ නංවා ඇති බව සඳහන්.
මේ අතර එම පුවත්පතට අනුව බලධාරීන් සඳහන් කරන්නේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවන ඇමරිකානු මිලිටරි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි.
එසේම ටැම්පා හි පිහිටි ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සහ මියාමි අසල පිහිටි ඇමරිකානු දකුණු අණදෙන මූලස්ථානයට අදාළ සන්නිවේදනයන් නිරීක්ෂණය කිරීම ද මීට ඇතුළත් බව සඳහන්.
මීට අමතරව අඳාළ බුද්ධි අංශ වාර්තා මඟින් කියුබාව තුළ ක්‍රියාත්මක වන, තරංග ආශ්‍රයෙන් තොරතුරු රැස්කරන මධ්‍යස්ථාන 18ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. අමෙරිකානු නිලධාරීන්ට අනුව, චීනය ඉන් මධ්‍යස්ථාන 3ක් ද, රුසියාව මධ්‍යස්ථාන 2ක් ද ක්‍රියාත්මක කරයි.
එමෙන්ම ඇතැම් මධ්‍යස්ථාන කියුබානු බලධාරීන් සමඟ ඒකාබද්ධව පවත්වාගෙන යන බව විශ්වාස කරයි. සෙසු මධ්‍යස්ථාන කියුබාවට අයත් ඒවා බව වටහාගෙන ඇත.
කෙසේ වෙතත් වොෂින්ටනය මෙම වර්ධනයන් දකින්නේ, ඇමරිකාවේ ප්‍රතිවාදී රටවල් බටහිර අර්ධගෝලය තුළ තම බලය ශක්තිමත් කර ගැනීමට ගන්නා පුළුල් උත්සාහයක කොටසක් වශයෙන්. ට්‍රම්ප් පරිපාලනය මෙම බුද්ධි අංශ සොයාගැනීම් උපයෝගී කරගනිමින් කියුබානු රජය වෙත දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබෙන අතර, ඔවුන් තර්ක කරන්නේ කියුබාව ඇමරිකානු ප්‍රධාන භූමියට ආසන්නයේ සිදුවන රුසියානු සහ චීන මෙහෙයුම් සඳහා කඳවුරක් වී තිබෙන බවයි.