තෙල් අර්බුදයත් සමඟ දුම්රිය ජනප්‍රිය වෙයි
පවතින තෙල් අර්බුදය හමුවේ දුම්රිය ඔස්සේ ගමන් පහසුව සලසා ගැනීමට මේ වනවිට විශාල මගීන් පිරිසක් නැඹුරු වී ඇති බව දුම්රිය ලොකෝ මෝටිව් නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක මහතා අද (23) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ, ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක යොදාගත හැකි යෝග්‍යතම ප්‍රවාහන මාධ්‍යය දුම්රිය බවත්, එලෙස දුම්රිය වෙත පැමිණෙන මගීන්ට නිසි සේවාවක් ලබාදීමට තරම් ප්‍රමාණවත් දුම්රිය සංඛ්‍යාවක් ධාවනය නොවන බවත්ය.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට සේවය කරන නිලධාරීන් 15,000ක් පමණ සිටින නමුත් ධාවනය වන්නේ දුම්රිය 180ක් පමණක් බවත්, එය ඉතා අඩු කාර්යක්ෂමතාවක් බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
ජනතාව ගැන සිතා දුම්රිය ධාවනය අඩු කිරීමේ තීරණයෙන් වැළකී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.
මෙම තත්ත්වය හමුවේ දුම්රිය සේවාවන්හි ගුණාත්මකභාවය හා සේවාවන් වැඩිදියුණු කිරීමටත්, අවශ්‍ය දුම්රිය සංඛ්‍යාව ඉහළ නැංවීමටත් රජය කඩිනම් පියවර ගන්නා ලෙස සංගමය ඉල්ලා සිටියි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දුම්රිය ජනප්‍රිය වීම මහජනතාවගේ ජීවන වියදම සමනය කිරීමට උපකාරී වුවද, සේවාවන්හි ප්‍රමාදවීම් හා තදබදය හේතුවෙන් මගීන්ට අපහසුතා ඇති වී ඇති බව ද වාර්තා වේ.