ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ ඛේදජනක මරණය
දශකයකට වැඩි කාලයකට පෙර ශබ්දයේ වේගය ඉක්මවමින් පෘථිවි වායුගෝලය හරහා සැතපුම් 24ක උන්මාදජනක පිම්මක් පැන ලෝක වාර්තාවක් පිහිටුවූ “නිර්භීත ෆීලික්ස්” ලෙස හඳුන්වනු ලැබූ අති දක්ෂ මලල ක්‍රීඩක හා ස්කයිඩයිවර් ෆීලික්ස් බෝම්ගාට්නර්, ඉතාලියේ නැගෙනහිර වෙරළ තීරයේ සිදුවූ පැරග්ලයිඩින් අනතුරකින් බ්‍රහස්පතින්දා (17) ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56කි.
ඉතාලියේ පෝර්ටෝ සැන්ට් එල්පිඩියෝ නගරයේ පිහිනුම් තටාකයක් අසලට පැරග්ලයිඩරයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ඉතාලි ගිනි නිවන භටයින් පැවසීය. අනතුරින් බෝම්ගාට්නර් බරපතල තුවාල ලබා ඇති අතර, ඒ හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ඛේදජනක මරණය පෝර්ටෝ සැන්ට් එල්පිඩියෝ නගරයේ නගරාධිපති මැසිමිලියානෝ සියර්පෙලා විසින් සමාජ මාධ්‍ය සටහනක් හරහා තහවුරු කරන ලදී.
“ගෝලීය ප්‍රසිද්ධියක් උසුලන, ධෛර්යයේ සහ අන්ත පියාසර ක්‍රීඩාවේ ආශාවේ සංකේතයක් වූ ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ මරණය අපගේ ප්‍රජාවට දැඩි කම්පනයක් ගෙන දී ඇත,” යනුවෙන් නගරාධිපතිවරයා සිය සටහනේ සඳහන් කළේය.
ෆීලික්ස් බෝම්ගාට්නර් 2012 වසරේදී ලෝකයේ අවධානය දිනා ගත්තේ, යාන්ත්‍රික උපකරණයකින් තොරව, ශබ්දයේ වේගය (මැක් 1) ඉක්මවා, පෘථිවි වායුගෝලය හරහා කිලෝමීටර් 39ක (සැතපුම් 24) උසකින් පැනීමේ විශිෂ්ට ක්‍රියාවකින් ය. ඔහු පීඩන ඔරොත්තු දෙන ඇඳුමකින් සැරසී, නිව් මෙක්සිකෝවට ඉහළින් යෝධ හීලියම් බැලූනයකින් ගමන් කළ කැප්සියුලයකින් මෙම ඓතිහාසික පිම්ම සිදු කළේය. මෙම සිදුවීම ඔහුව “නිර්භීත ෆීලික්ස්” ලෙස ලොව පුරා ප්‍රකට කළ අතර, එය අන්ත ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්විය.
පැරග්ලයිඩින් යනු ගුවනේ නිදහසේ පාවෙන ජනප්‍රිය අන්ත ක්‍රීඩාවකි. බෝම්ගාට්නර්ගේ මරණය මෙම ක්‍රීඩාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතු කර ඇති අතර, ඔහුගේ ජීවිතයේ ධෛර්යසම්පන්න ගමන ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර විය.
මෙම ඔස්ට්‍රියානු ජාතිකයා, මිනිත්තු නවයක කාලයක් තුළ පෘථිව පෘෂ්ඨයට ලඟාවන අතර තුර එක් අවස්ථාවක , පැයට සැතපුම් 843.6 ක වේගයක් ලබා ගත්තේය. එය ශබ්දයේ වේගය මෙන් 1.25 ගුණයකට සමාන විය.
ශබ්දයේ වේගය ඉක්මවා පොළොවට පතිතවන අතරතුර එක් අවස්ථාවක තත්පර 13 ක් තිස්සේ භයානක තිරස් භ්‍රමනයකට ලක් වු බව ඔහුගේ කාර්ය මණ්ඩලය පසුව පැවසීය. “මම දැන් පොළොවේ පය ගහලා ඉන්නවා. එපමණයි. එවැනි අවස්ථාවක දි ඔබ තවදුරටත් වාර්තා බිඳ දැමීම ගැන සිතන්නේ නැහැ, ඔබ විද්‍යාත්මක දත්ත ලබා ගැනීම ගැන සිතන්නේ නැහැ. ඔබට අවශ්‍ය එකම දෙය ජීවතුන් අතර නැවත පැමිණීමයි,” ඔහු නැගෙනහිර නිව් මෙක්සිකෝ කාන්තාරයට ගොඩ බැසීමෙන් පසු කීවේය.
ටපු ඔස්ට්‍රියානු හමුදා පැරෂුට් කරුවෙකු වන බෝම්ගාට්නර්, ගුවන් යානා, පාලම්, ඉහළම ගොඩනැගිලි සහ බ්‍රසීලයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවලින් බිහිසුණු අත්දැකීම් ලබමින් දහස් ගණනක් පැනීම් සිදු කළ විශිෂ්ටයෙකි. වර්ෂ 2003 දී, ඔහු ගුවන් යානයකින් පැන කාබන් ෆයිබර් තටුවක් භාවිතා කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා පියාසර කළේය.
