විදුලි බලය පුද්ගලික අංශයට - ආයෝජකයින්ට නව අවස්ථා
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරමින්, කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ පිහිටි නව සූර්ය විදුලි බලාගාරයක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විවෘත කරන ලදී.
අක්කර 20ක භූමි භාගයක් පුරා විහිදුණු මෙම සූර්ය බලාගාරය පෑන් ඒෂියන් පවර් පුද්ගලික සමාගමේ අනු සමාගමක් වන PAP MPHL Solar Pvt. Ltd.මඟින් ක්‍රියාත්මක කෙරේ.
භූමිය මත සවිකළ සූර්ය පැනල පද්ධති භාවිත කරමින් මෙම බලාගාරය වසරකට ගිගාවොට් පැය 10ක විදුලි ධාරිතාවක් නිපදවනු ඇතැයි අපේක්ෂිතය.
මෙමඟින් වසරකට ඩීසල් ලීටර් මිලියන 3.3කට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක්, එනම් රුපියල් බිලියන 1ක පමණ විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.
බලාගාරයේ විවෘත කිරීමේ උත්සවය අමතමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ,
"බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරැකීම සමඟින්, විශේෂයෙන් විදුලි ජනනයේදී පුද්ගලික අංශයේ ආයෝජන පිළිගැනීම සහ දිරිමත් කිරීම රජයේ ප්‍රතිපත්තියයි. මෙම සූර්ය බලාගාරය එම වැඩපිළිවෙළේ තවත් එක් පියවරකි,"
යනුවෙන්ය. මෙම බලාගාරය ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ඉලක්ක කරා ගමන් කිරීමේදී වැදගත් සන්ධිස්ථානයක් වන අතර, පිරිසිදු බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමට සහ ඉන්ධන ආනයනය මත රඳා පැවතීම අවම කිරීමට ද හේතුවනු ඇත.
විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු ප්‍රධාන ආයෝජකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම ව්‍යාපෘතිය රටේ බලශක්ති ස්වාධීනත්වය සහ ආර්ථික සංවර්ධනයට දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ.
