එක් බලාගාරයක් හැර සෙසු විදුලි බලාගාර යථා තත්ත්වයට

By Sithumi Dec 03, 2021 01:50 PM GMT
Sithumi

Sithumi

Report

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය සැපයුම අද (03) රාත්‍රිය වන විට මුළු මුනින්ම යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙම හදිසි බිඳ වැටීම් සම්බන්ධයෙන් අද පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ හැර සියලු බලාගාරවල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 2ක කාලයක් ගත වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. අද පෙරවරු 11 යි 30ට පමණ දිවයින පුරා හදිසියේ විදුලිය බිඳවැටුණු අතර මෙය මෙම සතියේ සිදු වූ 2 වන විදුලි බිඳ වැටීමයි. පසුගිය සඳුදා රාත්‍රියේ ද විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලිය විසන්ධි වුණා.

අද සිදු වූ විදුලි බිඳ වැටීමට හේතුව මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ආර් රණතුංග සඳහන් කළේ. කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන විදුලි ඉංජිනේරුවරුන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවයි. සාමාන්‍යාධිකාරීවරයා එසේ ප්‍රකාශ කර පැය කිහිපයක් ගතව යන්නටත් මත්තෙන් විදුලි ඉංජිනේරු සංගමය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවයි.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එරෙහිව ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතර, අද දිනයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව එය අත්හිටවූ බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩු සඳහන් කළා. කෙසේ වෙතත්, විදුලි සැපයුම බිඳ වැටීමත් සමග අඹතලේ හා බියගම පවිත්‍රාගාරවලින් ජලය සැපයෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක ජලය සැපයුමට ද බාධා එල්ල වුණා.

එමෙන්ම, දුම්රිය ධාවනයට මෙන්ම ඉන්ධන අලෙවියට ද බාධා එල්ල වූ අතර, ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලීම් ද දක්නට ලැබුණා. මාර්ග සංඥා ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් ද දක්නට ලැබුණු අතර, රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.

මේ අතර, ඊයේ (02) රාත්‍රියේ කඩුවෙල - වැලිවිට විදුලි පාරිභෝගික අධිකාරි, ප්‍රදේශයේ සිදුවූ විදුලිබිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අදාළ විදුලි බිඳ වැටීම කඩා කප්පල්කාරි පිරිසක් විසින් සිදුකරන ලද්දක් ද යන්න විමර්ශනය කරන ලෙස ඉල්ලමින්. ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW