ලංකාව අවට මුහුදු ප්‍රදේශ කැළඹෙයි - වහාම ධීවර හා නාවික ප්‍රජාව ප්‍රවේශම් වෙන්න
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අද (28) උදෑසන 11ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (29) උදෑසන දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වේ. මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් (2.0 - 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.