මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය
මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි. 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත උපුටා දක්වමින් මේ බව වාර්තා කරන අතර පළපුරුදු විනිසුරුවන්ගේ සේවය තවදුරටත් අධිකරණ පද්ධතිය වෙත ලබා ගැනීම මෙහි මූලික අරමුණ බව එම වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම යෝජිත සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වත්මන් වසර 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 63 සිට 65 දක්වා ද ඉහළ දැමීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තා කරයි. දැනට පවතින නීතිය අනුව මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 61 දී ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් වයස අවුරුදු 60 දී ද විශ්‍රාම ගනු ලබයි.
රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, පහළ අධිකරණවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට ද පියවර ගන්නා බවයි. පළපුරුදු විනිසුරුවරුන් ඉහළ අධිකරණවලට උසස්වීම් ලබන අවස්ථාව වන විට ඔවුන්ගේ විශ්‍රාම වයස ආසන්න වී තිබීම හේතුවෙන්, ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇති බව රජයේ අදහසයි.
මෙම සංශෝධනය හරහා එම විනිසුරුවරුන්ට තවත් වසර දෙක තුනක කාලයක් ඉහළ අධිකරණවල සේවය කිරීමට අවස්ථාව හිමිවනු ඇත. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 බැගින් පවතින බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් දේශපාලන විපක්ෂය මෙන්ම මෙරට සහ ජාත්‍යන්තර නීති ක්ෂේත්රයේ ප්‍රබල විරෝධයක් මතු වී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ ආසියා පැසිෆික් නීති සංගමය ඇතුළු සංවිධාන රජයෙන් ඉල්ලා සිටින්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පියවරෙන් බැහැර වන ලෙසයි. රජය මෙලෙස අධිකරණයේ විශ්‍රාම වයස වෙනස් කිරීමට උත්සාහ කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට සහ තමන්ට හිතකර ලෙස අධිකරණ පද්ධතිය හසුරුවා ගැනීමට බවට විචාරකයෝ සහ නීති සංගම් චෝදනා කරති.