ගමට සිනමාව ගෙනයන්න අලුත් වැඩක් – සිනමාවේ නව ආරම්භයක්
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ප්‍රතිපත්තියට සමගාමීව සිනමා කර්මාන්තයේ දියුණුවත්, සිනමා ප්‍රේක්ෂකයන්ට වඩාත් පහසුවෙන් චිත්‍රපට නැරඹීමේ අවස්ථා සලසා දීමත් අරමුණු කරගෙන ප්‍රාදේශීය වශයෙන් සිනමා ශාලා ඉදිකිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති මූලික සාකච්ඡාව 2026 ජුනි 24 වන දින, ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය වශයෙන් නව සිනමා ශාලා ඉදිකිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයන් 12 දෙනෙකු පමණ සහභාගී වූ අතර, ඒ අතර දැනට සිනමා කර්මාන්තයේ නියැලී සිටින සිනමා ශාලා හිමිකරුවන්ද එක්ව සිටීම විශේෂත්වයකි.
ගෝනවිල, පන්නල, පිටකෝට්ටේ, නාරම්මල සහ නිට්ටඹුව යන ප්‍රදේශ ආවරණය වන පරිදි නව සිනමා ශාලා ඉදිකිරීමට එස්. එම්. සුරේෂ් කාංචන මහතා, රත්නසිරි පතිරණ මහතා, එන්. රණසිංහ මහතා, ඒ. ගොඩකන්ද මහතා සහ ඒ. බී. වරුණ මහතා කැමැත්ත පළ කළහ. නව සිනමා ශාලා ඉදිකිරීමේදී 50–100 අතර ආසන ධාරිතාවකින් යුත් නවීන තාක්ෂණය භාවිතා කරන සිනමා ශාලා ඉදිකිරීමට සියලුදෙනා එකඟතාවය පළ කළහ.
මේ අතර, හැටන්, මොනරාගල, ඇඹිලිපිටිය සහ නුගේගොඩ යන ප්‍රදේශවල පවතින සිනමා ශාලා නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවීකරණය කිරීමටත්, අමතරව නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමටත් එන්. සෙල්වකුමාර් මහතා, සරත් ප්‍රනාන්දු මහතා, රසිත මාලන් මහතා, එම්. ඔමිත මහතා, එච්. එච්. කෞෂිත ඉමල්ක මහතා, කේ. ජී. විමලදාස මහතා සහ කේ. ජී. සංජය මහතා එකඟතාව පළ කළහ.
මෙම සාකච්ඡාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ප්‍රදීප් ලංකා ධර්මවික්‍රම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විමර්ශන) ගාමීණි රූපසිංහ මහතා ඇතුළු විමර්ශන නිලධාරීහුද සහභාගී වූහ.