මහින්ද රාජපක්ෂ පාසලේ දරුවෝ හොඳට විභාගේ පාස් වෙනවා - ඒත් ගුරුවරු නෑ පාසලේ නමනම් ප්‍රශ්ණේ නම අයින් කරගන්න - හිටපු ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

Report

හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ ප්‍රබල දේශපාලකයෙකු වූ බන්දුල ගුණවර්ධන මහතා විසින් ඔහුගේ පාලන සමයේ නිර්මාණය කල හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන්ගේ වර්තමාන අධ්‍යාපන දක්ෂතා හුවා දක්වමින් පවසා සිටියේ මෙතරම් දක්ෂ දරුවන් සිටින පාසල් මුහුණ දී ඇති ගුරු විදුහල්පති විවිධ ගැටළු පිළිබඳවයි.

මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් අද (25) දින ඔහු මෙම අදහස් දැක්වූ අතර වැඩිදුරටත් ඔහු පවසා සිටියේ

"මම මේ රටේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස රටට ඵලදායී මෙහෙවරක් කිරීමට උත්සාහ කළ අමාත්‍යවරයෙක්. ඒ අනුව පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කළ අවස්ථාවේදී, ආදර්ශ ද්විතීක පාසලක් ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය නිර්මාණය කළා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් 770 දෙනාම සමත් වී ඇති අතර, එකම සිසුවෙකු හෝ අසමත් වී නැහැ. සියලු දෙනාම උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එම සිසුන් අතරින් A සාමාර්ථ 9ක් ලබාගත් සිසුන් 190 දෙනෙක් සිටින අතර, A සාමාර්ථ 5කට වැඩි ප්‍රමාණයක් ලබාගත් සිසුන් 560 දෙනෙක් සිටිනවා.

එය විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් සියයට 73ක් පමණ වෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිසුන් 124 දෙනෙක් පන්ති තුනක් යටතේ විභාගයට පෙනී සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. විදේශ භාෂා විෂයයන්හිද විශිෂ්ට ප්‍රතිඵල වාර්තා වී තිබෙනවා. ජපන් භාෂාව සඳහා පෙනී සිටි සිසුන් 55 දෙනාගෙන් 50 දෙනෙකුට A සාමාර්ථ හිමිවී තිබෙනවා. කොරියානු භාෂාවෙන් A සාමාර්ථ 11ක් සහ දෙමළ භාෂාවෙන්ද A සාමාර්ථ 11ක් හිමිවී තිබෙනවා. ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන සියලුම මාධ්‍යවලින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. නමුත් අවාසනාවකට, මේ රටේ විශාලතම ද්විතීක මිශ්‍ර පාසල වන මෙම පාසලට ප්‍රතිඵල නිකුත් වන මේ අවස්ථාවේදී විදුහල්පතිවරයෙක් නැහැ. නියෝජ්‍ය විදුහල්පතිවරු හතර දෙනෙකුගේ සහ ගුරුවරුන් 32 දෙනෙකුගේ හිඟයක් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ වුවද, පසුගිය වසර 15ක කෙටි කාලය තුළ විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ සහ සියලුම සුබපතන්නන්ගේ කැපවීම මත මෙම පාසල විශිෂ්ට දරු පරපුරක් බිහිකර ඇති අතර, මේ වන විට සිසුන් 7,000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන පාසලක් බවට පත්ව තිබෙනවා.

ගැහැණු හා පිරිමි සිසුන් එක්ව අධ්‍යාපනය ලබන මෙම විශාල පාසලට වසරකට ආසන්න කාලයක් විදුහල්පතිවරයෙක් නොමැතිවීම ඉතා බරපතළ ප්‍රශ්නයක්. එමෙන්ම ගුරුවරුන් පත් නොකර ගුරුවරුන් මාරු කිරීම නිසා දරුවන්ගේ අනාගතයටද විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමිය දැනුවත් කර, අවශ්‍ය නම් පාසලේ නම වෙනස් කර හෝ මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට රජය මැදිහත් විය යුතු බව මම ඉල්ලා සිටිනවා. අපි කොතරම් සාකච්ඡා කිරීමට උත්සාහ කළත්, දෙමාපියන්ගේ සංගම් ඇතුළු පාර්ශ්ව නිරන්තරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් මේ ගැටලුව සම්බන්ධයෙන් විරෝධතා දක්වන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. සමහරවිට ජනාධිපතිතුමාට හෝ අධ්‍යාපන අමාත්‍යතුමියට මේ තත්ත්වය පිළිබඳ සම්පූර්ණයෙන්ම නොදැනුවත් වෙන්න පුළුවන්.

හිටපු විදුහල්පතිවරයා සොයා ගැනීමත් ඉතා අපහසු කාර්යයක් වුණා. එතුමා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිටියදී, මේ පාසලට පැමිණීමට නවාතැන් පහසුකම් නොමැති බව පැවසූ නිසා මගේ පෞද්ගලික වියදමින් කුලී නිවසක් ලබා දුන්නා. පසුව ගුරු නිවාසයක්ද ඉදිකළා. දැන් මෙම විද්‍යාලයට ගුරු නිවාස සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සියල්ල තිබෙනවා. ඒ නිසා ඕනෑම දක්ෂ විදුහල්පතිවරයෙකුට මෙහි සේවය කිරීමට හැකියාව තිබෙනවා. එමෙන්ම විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ ගුරුවරුන් රැසක්ද මෙහි සිටිනවා.

වහාම විදුහල්පතිවරයෙකු, සහකාර විදුහල්පතිවරුන් සහ පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කර දෙන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. A සාමාර්ථ 5කට වැඩි ප්‍රමාණයක් ලබාගත් සිසුන් 508 දෙනාම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා පහසුවෙන් යොමු කළ හැකි දක්ෂ දරුවන්. ලෝකයේ බොහෝ රටවල මෙවැනි දක්ෂ සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව ඇතුළු බොහෝ රටවලත් එවැනි වැඩසටහන් තිබෙනවා. ඒ නිසා මේ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනැගීමට දක්ෂ විදුහල්පතිවරයෙකු, සහකාර විදුහල්පතිවරුන් සහ දක්ෂ ගුරු මණ්ඩලයක් අත්‍යවශ්‍යයි. ගුරුවරුන් 32 දෙනෙකුගේත් සහකාර විදුහල්පතිවරුන් සිව් දෙනෙකුගේත් හිඟයක් පවතින තත්ත්වයක මෙවැනි දැවැන්ත පාසලක ශිෂ්‍ය විනය සහ පරිපාලනය නිසි ලෙස පවත්වාගෙන යාම ඉතා අසීරු කාර්යයක් බවට පත්ව තිබෙනවා."

අදාළ මාධ්‍ය සාකච්චාවේ වීඩියෝ දර්ශන පහතින්,