හෝමූස් මාර්ගය ඉන්දියාවට විවෘතයි - ඉරාන විදේශ අමාත්‍යවරයා
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අද ප්‍රකාශ කළේ, ඉන්දියාව ඇතුළු මිත්‍රශීලී රටවල් සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉරානය අවසර දී ඇති බවයි.
මුම්බායිහි ඉරාන කොන්සල් ජනරාල්වරයා නිකුත් කළ සටහනක මෙසේ සඳහන් වේ:
“චීනය, රුසියාව, ඉන්දියාව, ඉරාකය සහ පකිස්ථානය ඇතුළු මිත්‍රශීලී රටවල් සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අපි අවසර දී ඇත්තෙමු.” මෙම තීරණය එලිදැක්වුණේ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉල්ලා සිටි අනතුරු ඇඟවීමෙන් පසුවය.
ගුටරෙස් X හි සටහනක ලියා තිබුණේ, “හෝමුස් සමුද්‍ර සන්ධිය දිගු කලක් වසා දැමීම ගෝලීය වගා සමයේ තීරණාත්මක මොහොතක තෙල්, ගෑස් සහ පොහොර සංචලනය හිර කරයි. කලාපය පුරා සහ ඉන් ඔබ්බට සිවිල් වැසියන් බරපතල හානි විඳ දරාගෙන ගැඹුරු අනාරක්ෂිතභාවයකින් ජීවත් වෙති.
යුද්ධයේ ප්‍රතිවිපාක අවම කිරීමට හොඳම ක්‍රමය වන්නේ යුද්ධය වහාම අවසන් කිරීමයි” යනුවෙනි. ඔහු බටහිර ආසියාවේ යුද්ධය අවසන් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේය. “යුද්ධය අවසන් කිරීමට කාලය පැමිණ ඇත.මිනිස් දුක් වේදනා ගැඹුරු වෙමින් පවතී” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මීට පෙර මාර්තු 25 වැනිදා නිව්යෝර්ක්හි ඉරාන මෙහෙයුම පවසා තිබුණේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා “සතුරු නොවන යාත්‍රා” ලෙස හැඳින්වෙන නැව්වලට ගමන් කිරීමට ඉඩ දෙන බවයි.