Binance වේදිකාව සලිත කළ ඩොලර් බිලියන 6ක ක්රිප්ටෝ කොල්ලයක් - වෙළෙඳපොළට මොකද වෙන්නේ?
FBI උතුරු කොරියාවට චෝදනා කරයි ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6කට අධික වටිනාකමකින් යුත් අතථ්ය මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාවට චෝදනා එල්ල වී තිබේ.
ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසන්නේ, පසුගිය ඔක්තෝබර් 29 වැනිදා සිදුවූ මෙම දැවැන්ත සයිබර් ප්රහාරය උතුරු කොරියාවට සම්බන්ධ 'TraderTraitor' නමැති හැකර් කණ්ඩායම විසින් සිදුකර ඇති බවයි.
මෙය මෙතෙක් වාර්තා වූ විශාලතම ක්රිප්ටෝ මුදල් සොරකම් කිරීමේ සිදුවීම ලෙස සැලකේ. සොරකම් කළ අතථ්ය මුදල් Ethereum බවට පරිවර්තනය කිරීමට අදාළ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවද FBI අනාවරණය කර තිබේ.
එම මුදල් තවදුරටත් වෙනත් ක්රිප්ටෝ හුවමාරු ක්රම ඔස්සේ විශුද්ධිකරණය කිරීමට උත්සාහ කරනු ඇතැයි එම ආයතනය අපේක්ෂා කරයි.
එමෙන්ම සොරකම් කළ මුදල් විශුද්ධිකරණය සඳහා භාවිත කරන ගිණුම් ලිපිනවලට අදාළ ගනුදෙනු අවහිර කරන ලෙස FBI පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සයිබර් ප්රහාරයට උතුරු කොරියාවේ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව තමන්ට තවමත් නිශ්චිත තොරතුරු නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා ඇත.
සොරකම් කළ මුදල්වලින් 90%ක් යළි පිරවීමට Binance සූදානම්
මේ අතර, මෙම සයිබර් ප්රහාරයෙන් සිදුවූ මූල්ය පාඩුව සම්පූර්ණයෙන්ම පියවීමට කටයුතු කරන බව Binance සමාගම පවසයි. ඒ සඳහා සමාගමේ අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.34කට අධික මුදලක් වෙන්කර ඇති බවද එම සමාගම සඳහන් කර තිබේ.
සොරකම් කළ මුදල්වලින් 90%කට සමාන වටිනාකමකින් යුත් ටෝකන මිලදී ගැනීමට මේ වන විටත් කටයුතු කර ඇති බව Binance පවසයි. ඉතිරි 10%ක ප්රමාණය පහසුවෙන් මිලදී ගැනීමට නොහැකි, අඩු ද්රවශීලතාවක් සහිත ටෝකන වන බැවින් ඒවා අවශ්ය ප්රමාණයෙන් සොයා ගැනීමට තවත් කාලයක් ගතවනු ඇති බවද සමාගම පෙන්වා දෙයි.
ප්රහාරයෙන් පසුව පරිශීලකයන්ගේ මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම තාවකාලිකව අත්හිටුවීමට Binance කටයුතු කර තිබූ අතර, එය ඉරිදා දිනයේ යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.
ක්රිප්ටෝ වෙළෙඳපොළටත් දැඩි බලපෑමක්
මෙම සයිබර් ප්රහාරය පිළිබඳ පුවත වාර්තා වීමත් සමඟ ප්රධාන ක්රිප්ටෝ මුදල්වල මිල ගණන්වලද සැලකිය යුතු පහත වැටීමක් සිදුව තිබේ.
ඒ අනුව Bitcoin මිල 5%කට ආසන්න ප්රමාණයකින්ද, Ethereum මිල 6%කට ආසන්න ප්රමාණයකින්ද පහත වැටී ඇත. Binance සමාගමේ BNB ටෝකනයේ මිලද 10%කට ආසන්න ප්රමාණයකින් පහත වැටී තිබේ.
මෙම ප්රහාරයට චෝදනා එල්ල වී ඇති TraderTraitor කණ්ඩායම, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී Bybit ක්රිප්ටෝ හුවමාරු වේදිකාවෙන් ඩොලර් බිලියන 1.5ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ කණ්ඩායමකි.
එමෙන්ම මෙම කණ්ඩායම උතුරු කොරියාවට සම්බන්ධ Lazarus Group හි කොටසක් ලෙස සැලකෙන බවද වාර්තා වේ.