ජර්මනියේ Gen Z විරෝධතා ප්රචණ්ඩ වෙයි - වෙළෙඳසැල්වලටත් ප්රහාර
අධ්යාපන පහසුකම් ඉහළ නංවන ලෙසත්, ජීවන වියදම අඩු කරන ලෙසත් ඉල්ලා ජර්මනියේ ප්රධාන නගර රැසක පැවති Gen Z තරුණ විරෝධතා අතරතුර ඇතැම් ස්ථානවල ප්රචණ්ඩ ක්රියා වාර්තා වී තිබේ.
'Gen Z regelt' නම් තරුණ සංවිධානය විසින් බර්ලින්, ෆ්රැන්ක්ෆර්ට් සහ මියුනිච් ඇතුළු ජර්මනියේ නගර 34ක මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.
අනිවාර්ය හමුදා සේවයට විරෝධය පළ කිරීම, අධ්යාපන ක්ෂේත්රයට වැඩි ආයෝජනයක් ලබාදීම සහ තරුණ පරපුර මුහුණ දෙන ඉහළ ජීවන වියදමට විසඳුම් ලබාගැනීම විරෝධතාකරුවන්ගේ ප්රධාන ඉල්ලීම් අතරට අයත් වේ.
යුරෝපය පුරා මේ වසරේ ව්යාප්ත වූ Gen Z තරුණ විරෝධතා රැල්ලේ තවත් දිගුවක් ලෙස මෙම විරෝධතා සැලකේ.
සර්බියාවේ ශිෂ්ය ක්රියාකාරීත්වය එරට දේශපාලන වෙනස්කම් සඳහා බලපෑ අතර, ප්රංශයේ පැවති විරෝධතා ඇතැම් අවස්ථාවල කොල්ලකෑම් සහ ප්රචණ්ඩ ක්රියා දක්වා වර්ධනය වී තිබුණි.
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරයේ පැවති විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිස් වෙළෙඳසැල් කොල්ලකෑමට සහ දේපළවලට හානි කිරීමට කටයුතු කිරීමත් සමඟ තත්ත්වය ප්රචණ්ඩකාරී වී ඇත.
එහිදී වෙළෙඳසැල් දෙකක් පමණ කොල්ලකා ඇති අතර තවත් වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එමෙන්ම හැම්බර්ග් නගරයේ ඇතැම් මාර්ග බාධකවලට ගිනි තබා ඇති අතර, පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වේ.
මේ අතර, ඔක්තෝබර් 31 වැනිදා නිකුත් වූ නිල සංඛ්යාලේඛනවලට අනුව විරෝධතාවලට සහභාගී වූ පිරිස සංවිධායකයන් මුලින් අපේක්ෂා කළ 182,000ක සංඛ්යාවට වඩා අඩු වී තිබේ.
ෆ්රැන්ක්ෆර්ට්, මියුනිච් සහ බර්ලින් නගරවල පමණක් විරෝධතාකරුවන් 18,000ක් පමණ සහභාගී වූ බව පොලිසිය සඳහන් කර ඇත.
හැලොවීන් උත්සව පැවැත්වෙන කාලසීමාවට සමගාමීව පැවති මෙම විරෝධතා බොහෝ දුරට සාමකාමීව පැවති බව ජර්මානු බලධාරීන් ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, අන්තවාදී කණ්ඩායම් මෙම විරෝධතා තම අරමුණු වෙනුවෙන් යොදාගැනීමට උත්සාහ කළ හැකි බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.
විරෝධතාවලට එක්වෙමින් 'Gen Z regelt' සංවිධානයේ ප්රකාශිකා ලීනා ෆ්රෙඩ්රික් බර්ලිනයේදී ප්රකාශ කර ඇත්තේ යුද්ධය සහ බලහත්කාරය වෙනුවට සාමය හා නිදහස වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බවයි.
සෞඛ්ය හා අධ්යාපන පද්ධති සඳහා වැඩි සහයෝගයක් ලබාදීම තම ප්රධාන ඉල්ලීම බවත්, අනිවාර්ය හමුදා සේවයට තමන් විරුද්ධ බවත් ඇය සඳහන් කර තිබේ.
එමෙන්ම සමාජයේ බර සාධාරණ ලෙස බෙදී යා යුතු බවද ඇය අවධාරණය කර ඇත.
ජර්මනියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශයට අනුව, එරට අන්තවාදී වාමාංශික කණ්ඩායම්වල ඇතැම් කොටස් සහ විදේශීය අන්තවාදී ව්යාපාර සමඟ සම්බන්ධ ඇතැම් කණ්ඩායම්ද මෙම විරෝධතාවලට සහයෝගය ලබාදීමට උත්සාහ කර තිබේ.
හෙසන් ප්රාන්තයේ අභ්යන්තර කටයුතු අමාත්ය රෝමන් පොසෙක් ප්රකාශ කර ඇත්තේ ප්රංශයේ සිදු වූ වෙළෙඳසැල් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ පොලිස් නිලධාරීන්ට පහරදීම් වැනි සිදුවීම් ජර්මනිය තුළ ආදර්ශයට නොගත යුතු බවයි.
යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය මේ වන විට ආර්ථික වර්ධනය යළි ඇති කරගැනීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටී.
එමෙන්ම වැඩකරන වයසේ ජනගහනය අඩුවීම හේතුවෙන් විශ්රාම වැටුප් සහ රාජ්ය සේවා පද්ධති කෙරෙහිද වැඩි පීඩනයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, මෙම විරෝධතා ව්යාපාරය සැබෑ ලෙසම තරුණ පරපුර විසින් මෙහෙයවනු ලබන්නේද යන්න පිළිබඳවද ප්රශ්න මතුව තිබේ.
විවිධ දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් ඊට සම්බන්ධ වී සිටීම ඊට හේතුවයි. ජර්මනියේ ජාතික පාසල් ශිෂ්ය සංවිධානය වන BSK මෙම විරෝධතා ව්යාපාරයෙන් ඈත්ව සිටින බව ප්රකාශ කර ඇති අතර, නොවැම්බර් 20 වැනිදා වෙනම විරෝධතා දිනයක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.