"දෙහි බාලේ" සහ "කළු මල්ලි"ගේ ප්‍රධාන ගෝලයන් 2STF අත්අඩංගුවට
විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන “දෙහි බාලේ” සහ “කළු මල්ලි” නමැත්තන්ගේ මෙහෙයවීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකළ බවට සැක කෙරෙන ඔවුන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු හදිසි තොරතුරකට අනුව සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
මාතර, නාවිමන, දැලිඅද්දර මාර්ගයට හැරෙන මංසන්ධියේදී වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 36ක් සොයාගෙන ඇත
එමෙන්ම ප්‍රබල රිපීටර් වර්ගයේ ෂොට්ගන් අවියක්, මිලිමීටර් 9 පිස්තෝල සඳහා භාවිත කරන ජීව උණ්ඩ 47ක්, T-56 ජීව උණ්ඩ 51ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදි දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ .