රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ විපක්ෂය මර්දනය කරමින් සිටිනවා - රනිල් වික්‍රමසිංහ
වර්තමාන රජය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය, විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ නිදහස් වෘත්තීය සමිති ක්‍රමවත් ලෙස මර්දනය කිරීමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවයට අද (06) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වත්මන් පාලනය දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් නොව නීතිඥ සංගමය, වෛද්‍යවරුන් සහ පූජ්‍ය පක්ෂය ඇතුළු සමාජයේ ප්‍රමුඛ වෘත්තීයවේදීන් සහ ආගමික නායකයන් ඉලක්ක කරගනිමින් ද විවිධ මර්දනකාරී පියවර ගැනීමට පටන් ගෙන ඇති බවයි.
දේශපාලන පක්ෂවලට නීතිමය හා පරිපාලනමය වශයෙන් සීමා පැනවීම, අහේතුක ලෙස හා දේශපාලන පළිගැනීමේ අරමුණින් දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම මෙන්ම හිරිහැර කිරීම් සිදුකිරීම මඟින් රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරාලීමට රජය කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.