මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට – රෝගීන් ගණන 96,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එමෙන්ම මේ වන විට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු වාර්තා වී ඇති අතර, එළඹි සැප්තැම්බර් මාසයේ මුල් දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 737 දෙනෙකු හඳුනාගෙන තිබේ.
අදාළ නිල දත්තයන්ට අනුව වසරේ ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964කි.
ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක්, අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක්, මැයි මාසයේදී රෝගීන් 8,590ක් සහ ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක් වශයෙන් වාර්තා වී ඇත.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී ඩෙංගු රෝගයෙන් දැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, සමස්ත රෝගීන්ගෙන් 52.84%ක් එනම් රෝගීන් 50,851ක් වාර්තා වන්නේ එම පළාතෙනි.
ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,950ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,818ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 7,925ක් ලෙස වාර්තා වී තිබේ.