ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි ගෙන්වයි - හේතුව මෙන්න
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය, කාර්මික දෝශයකට ලක් වීම හේතුවෙන් පැය 02යි විනාඩි 21කට පසුව නැවත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙම යූ.එල්.- 229 දරන ගුවන් යානය අද (08) දින සවස 06.44ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා.
එසේ වුවත් මෙම ගුවන් යානයෙහි හයිඩ්‍රොලික් පද්ධතියෙහි හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් එහි ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ පාලක මෙහෙයුම් මැදිරියට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් යානය නැවත හරවා ගෙන පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
ඒ සමඟ ක්‍රියාත්මක වූ ගුවන් නියමුවා රාත්‍රී 09.05ට තම ගුවන් යානය නිරුපද්‍රිතව, ආරක්ෂාකාරීව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගෙන තිබෙනවා. අඳාළ ගුවන් යානයෙහි ගුවන් මගීන් 179 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා කියා සිටියේ අඳාළ ගුවන් යානයෙහි වූ ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මඟින් කුවේට් රාජ්‍යය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.