ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10ක ණයකරුවෙක්.. නවතම තත්වය

By Sithumi Aug 19, 2022 03:55 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය මාස 4ක් ඇතුළත සියයට 32ක ප්‍රතිශතයකින් ඉහළයෑම ඊට හේතුවී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වනවිට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310.1ක් ලෙස වාර්තා වෙයි. ඉන් රුපියල් බිලියන 12,442.3ක් දේශීය ණය වන අතර විදේශීය ණය රුපියල් බිලියන 10.867.8ක් බව මහ බැංකුව පැවසීය. 

2021 වසර අවසානයේ දී රුපියල් බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළදී රුපියල් බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩිවී තිබීම මෙහි ඇති විශේෂත්වයකි. මේ සමගම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ද ශීඝ්‍ර වැඩිවීමකට ලක්වී තිබේ. මෙරට ජනගහනය මිලියන 22ක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10ක ණයකරුවෙක් වන බව එම වාර්තා පෙන්වාදෙයි.