සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්
දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා තොරතුරු හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නව එකඟතාවක් ඇති කරගෙන තිබේ.
ඒ අනුව, අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලියේදී අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර ඊයේ (26) පස්වරුවේ කොළඹදී පැවති හමුවේදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
ප්‍රබල කුණාටු තත්ත්වයක් - රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි
දෙරට අතර නීතිමය සහයෝගීතාව ශක්තිමත් කිරීම, අපරාධ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීම සහ නවීන තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාගැනීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම දෙරටටම මුහුණදීමට සිදුව ඇති ප්‍රධාන අභියෝග බව පෙන්වා දුන් රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා, එම අභියෝග ජයගැනීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම නවීන තාක්ෂණය යොදාගනිමින් සිදුකරන සයිබර් අපරාධ, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී ඇත.
මෙවැනි අපරාධ මැඩපැවැත්වීම සඳහා රුසියානු පාර්ශ්වයෙන් ලබාදීමට අපේක්ෂිත නවීන තාක්ෂණික සහාය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර තිබේ.

මෙම සංචාරයේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ අපරාධ විමර්ශන හා මර්දන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සහ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට තාක්ෂණික පුහුණුව ලබාදීම බවද සඳහන් වේ.
මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.