ආබාධ සහිත කාන්තාවන් මුහුණ දෙන ප්රචණ්ඩත්වයේ බරපතළ තත්ත්වයක් - හරිනි අගමැතිනිය හෙළි කරයි [VIDEO]
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තනි පුද්ගල සිදුවීම් කිහිපයකට සීමා වූ ගැටලුවක් නොව, පුරුෂ මූලික සමාජ ව්‍යුහයන්, අසමාන බල බෙදීම් සහ කාන්තාවන්ගේ නිදහස පාලනය කිරීමට උත්සාහ කරන සමාජ ආකල්ප මත පදනම් වූ බරපතළ සමාජ අභියෝගයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම ගෝලීය ඇස්තමේන්තුවලට අනුව ලොව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පමණ, එනම් කාන්තාවන් මිලියන 840ක් පමණ සිය ජීවිත කාලය තුළ කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බවයි.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති බවත්, ඒ සමඟම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරී ව්‍යාපාරය ද ආරම්භ වන බවත් ඇය සඳහන් කළාය.
1991 වසරේදී ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියන් විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා ක්‍රියාත්මක වේ.
1960 නොවැම්බර් 25 වැනිදා ඩොමිනිකන් ජනරජයේදී ඝාතනයට ලක් වූ මිරබල් සහෝදරියන් සිහිපත් කිරීම ද මෙම දිනයේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. 'ලාස් මරිපෝසාස්' (Las Mariposas) හෙවත් 'සමනලියන්' යන නමින් ප්‍රකට වූ ඔවුන්, රෆායල් ටෘහීයෝගේ ඒකාධිපති පාලනයට එරෙහිව කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරිනියන් පිරිසකි.
බලයට අභියෝග කරන සහ යුක්තිය ඉල්ලා සිටින කාන්තාවන් නිහඬ කිරීම සඳහා ප්රචණ්ඩත්වය යොදාගන්නා ආකාරය පිළිබඳ ප්‍රබල සංකේතයක් බවට මිරබල් සහෝදරියන් ඝාතනය පත්ව ඇති බව ද ඇය සඳහන් කළාය.
ඒ අනුව, 1999 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නොවැම්බර් 25 වැනිදා කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නිල වශයෙන් නම් කර තිබේ.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඇතිවීමට බලපාන්නේ පුරුෂ මූලික සමාජ ව්‍යුහයන් සහ අසමාන බල බෙදීම් පමණක් නොවන බවත්, කාන්තාවන්ගේ ශරීරය, තීරණ ගැනීමේ නිදහස, ගමන් බිමන්, ආර්ථික ස්වාධීනත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාලනය කිරීමට උත්සාහ කරන සමාජ ආකල්ප ද ඊට බලපාන බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙය ලෝකය පුරාම දක්නට ලැබෙන බරපතළ ගැටලුවක් වන අතර ශ්‍රී ලංකාව තුළ ද එම තත්ත්වය පැහැදිලිව දක්නට ලැබෙන බව ඇය පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2025 වසරේදී නිකුත් කළ, 2023 වසරේ දත්ත පදනම් කරගත් ගෝලීය ඇස්තමේන්තුවලට අනුව ලොව කාන්තාවන් මිලියන 840ක් පමණ සිය ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකුගෙන් හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් සිදුවන කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී තිබේ.
මෙවැනි ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා දශක ගණනාවක් පුරා ජාත්‍යන්තර මට්ටමින් විවිධ ප්‍රතිඥා සහ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණ ද, පසුගිය වසර 20ක කාලය තුළ සමීප සහකරුවන්ගෙන් සිදුවන ප්රචණ්ඩත්වය අඩුවී ඇත්තේ වසරකට සාමාන්‍යයෙන් සියයට 0.2ක පමණ සුළු ප්‍රමාණයකින් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇය පැවසුවේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2019 වසරේදී සිදු කළ 'කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයට' අනුව, මීට පෙර හෝ වර්තමානයේ සහකරුවෙකු සමඟ සම්බන්ධතාවයක සිටි කාන්තාවන්ගෙන් සියයට 20.4ක් සිය ජීවිත කාලය තුළ සමීප සහකරුවෙකුගෙන් කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බවයි.
එම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ මෙවැනි ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වයේ ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ ඔවුන් හොඳින් හඳුනන පුද්ගලයන් බව ද සඳහන් කළාය.
බොහෝ අවස්ථාවලදී එම පුද්ගලයා සමීප සහකරුවෙකු වන බවත්, සමීප සහකරුවන්ගෙන් සිදුවන ප්රචණ්ඩත්වය කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වයේ ප්‍රධානතම ආකාරයක් බවත් ඇය පෙන්වා දුන්නාය.
එම සමීක්ෂණයෙන් තවත් වැදගත් කරුණක් අනාවරණය වී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ආබාධ සහිත කාන්තාවන් අතර සමීප සහකරුවන්ගෙන් සිදුවන කායික හෝ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ ප්‍රතිශතය සියයට 25.5ක් වන අතර, ආබාධ රහිත කාන්තාවන් අතර එය සියයට 19.7ක් බව පැවසුවාය.
ඒ අනුව, ආබාධ සහිත කාන්තාවන් මෙවැනි ප්‍රචණ්ඩත්වයට මුහුණදීමේ වැඩි අවදානමකට ලක්ව සිටින බව ද ඇය අවධාරණය කළාය.
මීට අමතරව, සමීප සහකරුවන්ගෙන් සිදුවන ප්රචණ්ඩත්වය, සියදිවි නසා ගැනීම් සහ පවුල් මට්ටමින් සිදුවන ස්වයං හානි කර ගැනීම් අතර පවතින සම්බන්ධතාව පිළිබඳව 2024 වසරේදී පර්යේෂණ සිදු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
දියවැඩියා සහ හෘද රෝගීන්ට සුබ ආරංචියක් - ඉන්සියුලින් එන්නත් සහ හෘද රෝග එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
එසේම, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් සහ ආබාධ සහිත කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමෙන් පසු උපකාර ලබා ගැනීමේදී මුහුණ දෙන බාධා පිළිබඳව ද 2025 වසරේදී පර්යේෂණ සිදු කර ඇති බව ඇය පැවසුවාය.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වයේ බලපෑම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොවන බවත්, එය රටේ ප්රජාතන්ත්රවාදයට සහ ආර්ථිකයට ද සෘජුවම බලපාන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
කාන්තාවන් බියගැන්වීම හරහා දේශපාලන ක්‍රියාවලියෙන් ඔවුන් ඉවත් කිරීම, රැකියා ස්ථානවලදී ඔවුන්ගේ හඬ නිහඬ කිරීම, ආර්ථික වශයෙන් ස්වාධීන වීමට ඇති අවස්ථා අහිමි කිරීම සහ පොදු සමාජ ජීවිතයෙන් ඔවුන් බැහැර කිරීම හරහා අහිමි වන්නේ කාන්තාවන්ගේ පෞද්ගලික අවස්ථා පමණක් නොවන බව ද ඇය සඳහන් කළාය.
එවැනි තත්ත්වයන් හේතුවෙන් කාන්තාවන් සතු නායකත්ව හැකියාව, දැනුම සහ සමාජයට ලබාදිය හැකි දායකත්වය ද රටට අහිමි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.