ප්‍රබල කුණාටු තත්ත්වයක් - රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි
අමෙරිකාවේ මධ්‍යම බටහිර සහ ඊසානදිග ප්‍රදේශවලට බලපා ඇති ප්‍රබල කුණාටු තත්ත්වයක් හේතුවෙන් එරට ප්‍රාන්ත රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව වාර්තා වූයේ අධික වර්ෂාව, ප්‍රබල සුළං සහ වෙරළබඩ ගංවතුර හේතුවෙන් ප්‍රවාහන සේවා මෙන්ම විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් 'තෑන්ක්ස්ගිවිං' (Thanksgiving) උත්සවය සැමරීමට සූදානම් වන අතරතුර ඇති වී ඇති මෙම දරුණු කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ඔවුන්ගේ ගමන් සැලසුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්.
එමෙන්ම ප්‍රබල කුණාටු තත්ත්වයන් හේතුවෙන් ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති අතර විදුලි සැපයුමට ද බාධා මතු වී ඇත.
ඊයේ(26) පස්වරුව වන විට ලැබුණු වාර්තාවලට අනුව, ගුවන් ගමන් සිය ගණනක් අවලංගු වී ඇති අතර තවත් ගුවන් ගමන් 1,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇත.
සුළි කුණාටු මට්ටමේ ප්‍රබල සුළං සහ ගංවතුර තත්ත්වයන් නිසා රට පුරා පාරිභෝගිකයින් 900,000ක් පමණ විදුලි බලය නොමැතිව සිටියි.
'තෑන්ක්ස්ගිවිං' සති අන්තයේදී ඇමරිකානුවන් මිලියන 80ක් පමණ සංචාරය කරනු ඇති බව අපේක්ෂා කෙරුණු අතර, ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී මෙය හැඳින්වූයේ "ඇමරිකානු ගුවන් ගමන් ක්ෂේත්රයේ 'සුපර් බෝල්' අවස්ථාව" වශයෙන්.
කෙසේ වෙතත් මේ වන විට නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ ගමන් කරන දරුණුතම කුණාටුවක් නිසා වර්ජිනියා ඇතුළු ප්‍රදේශවල පැයට සැතපුම් 70ත් 80ත් අතර වේගයකින් යුත් ප්‍රබල සුළං හමමින් පවතින අතර මේරිලන්ඩ් ප්‍රාන්තයේදී, ගස් කඩා වැටීම නිසා නිවාසවල සිරවී සිටි පුද්ගලයින්ව හදිසි ආපදා සහන කණ්ඩායම් විසින් බේරා ගෙන ඇත.
එමෙන්ම නිව් යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම්ප්‍රදායික 'මේසීස් තෑන්ක්ස්ගිවිං දින පෙළපාලිය' ද ප්‍රබල කුණාටුවක් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබීම නිසා සෙනසුරාදා දිනය දක්වා කල් දමා තිබෙනවා.
මේ අතර ඉදිරියේදී ඇති විය හැකි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගස් අතු කඩා වැටීමේ සහ විදුලි රැහැන් කඩා වැටීමේ අවදානමක් පවතින බව නගරාධිපති සෝරාන් මම්දානි අනතුරු අඟවා ඇත.
දරුණු කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රාන්තවල විදුලි සැපයුම් සමාගම්, පවතින අභියෝග මධ්‍යයේ වුවද විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන්.
මේ අතර, විදුලි සැපයුමට වරින්වර බාධා එල්ල වීම නිසා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස මේරිලන්ඩ් ප්‍රාන්තයේ පාරිභෝගිකයින් මිලියන දෙකකට ආසන්න පිරිසකට දැනුම් දී ඇත.
වොෂින්ටන් අගනුවර ස්තුති ප්‍රකාශ කිරීමේ දිනයක වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මෙවර සටහන් වී ඇති අතර, මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා රේගන් ජාතික ගුවන්තොටුපොළේ ධාවන පථවලට ද ජලය ගලාගෙනවිත් ඇති බව සඳහන්.
කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - කැරට් 24 රන් පවුමක්ම ලක්ෂ තුනහමාරට අඩුවෙයි - රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල
එසේම කුණාටුවෙන් බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ සඳහා හදිසි ආධාර අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබෙන්නේ අමෙරිකාවේ බටහිර වෙරළබඩ ප්‍රදේශවලට ද පැසිෆික් සාගරයේ හටගන්නා කුණාටු මාලාවකින් බලපෑම් එල්ල විය හැකි බවයි.
මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල මුහුදු ජල මට්ටම අඩි 08ක් හෙවත් මීටර් 2.4ක් ඉක්මවිය හැකි බව පෙන්වා දෙයි.
එබැවින් වෙරළබඩ ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇති අතර, කැලිෆෝනියා වෙරළ තීරය ඔස්සේ ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බව සඳහන්.