'දිත්වා' සුළි කුණාටුවට වසරක් පිරෙයි - අනුමත කළ රුපියල් බිලියන 500ක සහන මුදල් ජනතාවට ලැබුණාද? – සජිත්ගෙන් ප්‍රශ්න වැලක්

Report

වසරකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පාඩම් උගෙන, රට තුළ නවීන හා කාර්යක්ෂම ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආපදා කළමනාකරණ පද්ධතිය පවතින කාලගුණික හා දේශගුණික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම, වර්තමාන පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් ආපදා අවස්ථාවලදී අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ප්‍රවේශය ප්‍රධාන වශයෙන් ආපදාවක් සිදුවීමෙන් පසු ප්‍රතිචාර දැක්වීමට සීමා වී ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ආපදාවලට පෙර සූදානම් වීම, අවදානම් හඳුනා ගැනීම සහ සිදුවිය හැකි හානි අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව, පූර්ව සූදානම සහ ආපදා අවදානම් අවම කිරීම කේන්ද්‍ර කරගත් නව යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඔහු, මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා වෙත දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇති බව ද පැවසීය.

 'දිත්වා' සුළි කුණාටුවේ පළමු සංවත්සරය සිහිපත් කරමින්, එම ව්‍යසනයෙන් සිය ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙත සිය බලවත් සංවේගය පළ කිරීමට ද ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

එමෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ආපදා කළමනාකරණ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 15කට ආසන්න පිරිසගේ සේවය ද ඔහු ඇගයීමට ලක් කළේය.

සුළි කුණාටුව හේතුවෙන් කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා අංශ ඇතුළු මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට දැවැන්ත බලපෑමක් එල්ල වූ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, ආපදාවෙන් සිදු වූ හානි පියවා ගැනීම සඳහා රජය ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව අනුමත කළ බව ද සිහිපත් කළේය.

කෙසේ වෙතත්, ආපදාවෙන් පීඩාවට පත් ගොවීන්, ධීවරයින්, කර්මාන්තකරුවන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සිල්ලර වෙළෙඳුන් සහ ස්වයං රැකියාවල නිරත වූවන්ට සිය ජීවනෝපායන් යළි ගොඩනඟා ගැනීම සඳහා පොරොන්දු වූ කඩිනම් සහන ප්‍රමාණවත් ලෙස ලැබී තිබේද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය.

අනාගතයේදී මෙවැනි ව්‍යසනවලින් සිදුවිය හැකි ජීවිත හානි සහ ආර්ථික හානි අවම කර ගැනීම සඳහා 'ඩිට්වා' සුළි කුණාටුවෙන් ලද අත්දැකීම් පාඩමක් කරගනිමින්, වඩාත් ශක්තිමත්, පෙර සූදානම මත පදනම් වූ සහ කාර්යක්ෂම ආපදා කළමනාකරණ පද්ධතියක් රට තුළ ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

යාවත්කාලීන කළ අස්වැසුම නාමලේඛනයට නොවැම්බර් දීමනා අද සිට ගිණුම්වලට

යාවත්කාලීන කළ අස්වැසුම නාමලේඛනයට නොවැම්බර් දීමනා අද සිට ගිණුම්වලට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්