විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි
වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිති මඟින් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ලංවිම අනුප්‍රාප්තික සමාගම් කළමනාකාරීත්වය අද (11) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
එසේම විදුලි බල වෘත්තීය සංගම් කාරණ 64ක් වෙනුවෙන් ඉල්ලීම් කළ බවත් ඉන් 62ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත් ඔහු සඳහන් කළා.
එම කාරණා 64න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන අතර ඉන් 59ක්ම මුල් සාකච්ඡාවෙදී අධ්යක්ෂ මණ්ඩලය මඟින් ලබා දීමට එකඟ වූ බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.
එහිදී සෙසු කාරණා 5ක් ඉතුරු වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවට අදාළ වෘත්තීය සමිතිවලට දැනුම්දුන් බව ද එහිදී නුසිත් කුමාරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.
එම වෘත්තීය සංගම්, ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ගෙවූ ආකාරයටම ප්‍රසාද දීමනාව ඉල්ලූ අතර කාර්ය සාධන ක්‍රමයක් හඳුන්වා දෙන තුරු ඒ සඳහා එකඟ වූ බවද මෙහිදී අධ්යක්ෂවරයා පෙන්වා දුන්නා.
එසේම වැටුපට දීමනා ලෙස රුපියල් 11,000ක් සහ ඊට අමතරව ජීවන වියදම් දීමනාව එකතු කර සාමන්‍යයෙන් රුපියල් 17,000ක මුදලක් ලබා දීමට ද එකඟ වූ බව ඔහු සඳහන් කළා.
ඊට අමතරව ඇමතිවරයාගේ මට්ටමෙන් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟ වූ බවද ඔහු පැවසුවා.
මේ අතර 40%ක වැටුප් වැඩිවීමක් ඉල්ලන අතරම ඔවුන්ට ලබා දෙන 11,000 දීමනාව මූලික වැටුපට ඇතුළත් කරන ලෙසද මොවුන් ඉල්ලීමක් කර ඇති අතර රටේ නීතියට අනුව ජීවන වියදම් දීමනාව මූලික වැටුපට ඇතුළත් නොකරන බවද අධ්‍යක්ෂකවරයා මෙහිදී පැහැදිලි කළා.
එහෙත් එම පදනම පැහැදිලි කළත් මොවුන් ඒ සඳහා ඇහුම්කන් නොදුන් බවත් ඔහු පැවසුවා. එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයක් ලෙස විදුලි බල මණ්ඩලයේ සේවකයින් 23,000 ගැන පමණක් සිතිය නොහැකි අතර එය රජයේ සේවයේ නියුතු අනෙක් සේවකයින්ට කරන අසාධාරණයක් බවයි.
40%ක් යනු මාසකට ගතහොත් බිලියන 1.8 වැඩිවීමක් වන බවත් එය අවුරුද්දකට බිලියන 22ක් වන අතර 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක් වන බවත් මෙහිදී ඔහු පැහැදිලි කළා.
එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා සඳහන් කළේ,
''ඇත්තටම අපි කම්පැනිය පටන් ගත්තේ ඊයේ. ඊයේ ඉඳලා අද වෙනකල් අපේ රාජකාරි කටයුත්තක් කරේ නැහැ. ඒක තමයි අපේ පටන් ගැන්ම... වෘත්තීය සමිතිවල ඉල්ලීම් කොටස් තුනක් තිබුණා. ඒක සාරාංශගත කරොත් එකක් තමයි විදුලිබල මණ්ඩලය වශයෙන් තිබියදී ලැබිච්ච වරප්‍රසාද අඩු වෙන්න බෑ කියන එක.. ඔවුන් කාරණා හැට හතරක් ඉල්ලුවා.ඒ හැට හතරෙන් බහුතරයක් තිබුණේ විදුලිබල මණ්ඩලය සතුව තිබුණු වරප්‍රසාද ඕන කියලා. ඒ හැට හතරෙන් මුල් සාකච්ඡාවේදී, අධ්යක්ෂ මණ්ඩලවලට දෙන්න පුළුවන් 59ක් අපි ලබාදුන්නා. පහක් ඉතුරුයි. ඒ පහෙන් තුනක් අපි කිව්වා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන්නම් කියලා... ඉතින් අපි කිව්වේ ඒකට විසඳුම් ලබාදෙන්න පොඩි කාලයක් දෙන්න කියලා. ඒකත් අපි ප්‍රකාශ කරා. ඊට පස්සේ දැන් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙක මොකක්ද? සීයට හතලිහක පඩි වැඩි කිරීමක් ඉල්ලනවා. සියයට හතළිහක් කියන්නේ මාසෙකට ගත්තොත් බිලියන 1.8 වැඩිවීමක්.. එය අවුරුද්දකට බිලියන 22ක් විතර.. එතකොට 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක්.. එතකොට අපි විදුලිබල මණ්ඩලය, නැත්නම් කම්පැනි වගේ හිතනවා වගේම රටේ ජනතාව ගැන, මහජනතාව ගැන, ඉන්ඩස්ට්‍රීස් ගැනත් හිතන්න ඕන. මේ ටික එකතු කරොත් විදුලි බිල සීයට සීයකින් විතර වැඩි කරන්න වෙයි. එතකොට අපි කිව්වා පොඩි සහන කාලයක් දෙන්න. මේවා කරගෙන යන්න එක සැරේට කරන්න බෑ කියලා.. මැදපෙරදිග යුද්ධ තියෙනවා... එනිත් එක වැටුප් විෂමතාවයක් තිබුණා සියයට විසිපහක. ඒ කියන්නේ 2024 අගෝස්තු ඉඳලා සීයට විසිපහක වැටුප් විෂමතාවයක් තිබුණා. ඒක විධායක ඉහළ නිලතලවල සියලු දෙනාම ලබාගත්තා. ඒක කරේ මෙහෙමයි.තීරණ ගන්න හැකියාවක් තියෙන ටික ඔක්කොම සීයට විසිපහ ගත්තා.
පොඩි සේවකයෙක් තීරණවලට සම්බන්ධ වෙන්න බැරි සේවකයෙක් නම් වැඩි වුණේ සීයට හතයි, අටයි, දහයයි එහෙම. ඒ වරදත් හැදුවා. ඒක හැදුවේ 2025 ජනවාරි පළවෙනිදා ඉඳලා. එතකොට ඉහළ නිලධාරීන්ට ලැබෙන්න දෙයක් නෑ. ඒ විසිපහ අරගෙන ඉවරයි. දැන් ඒගොල්ලන් කියනවා කැබිනට් තීරණය වෙනස් කරලා සීයට විසි පහක් සියලු දෙනාටම ලබාදෙන 2024 ජනවාරි පළවෙනිදා ඉඳන් කියලා..එතකොට මම කිව්වා කැබිනට් තීරණයක් මට, අපිට අධ්‍යක්ෂවරුන්ට වෙනස් කරන්න බෑ. ඒක ජනාධිපතිතුමා හම්බවෙලා කියන්න කියලා..ඒකටත් අවස්ථාව ලබාදීලා තියෙනවා. එතකොට ඉල්ලීම් සියල්ල සම්පූර්ණයි. දැන් වෙලා තියෙන දේ අපිට හිතාගන්න බෑ.. මොන අරමුණකින් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියනවද කියලා."