රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දහම් පාසල වසා දමාද? හමු වූ පුවත ගැන තානාපති කාර්යාලයෙන් හදිසි හෙළිදරව්වක්
රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන දහම් පාසල පිළිබඳ අසත්‍ය හා නොමඟ යවනසුලු පුවත් වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමයි 2026 ජූලි 21 දින “ලංකා ලීඩර්” (Lanka Leader) නම් වෙබ් අඩවියක් මගින්, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන දහම් පාසල, ගරු තානාපතිතුමාගේ උපදෙස් මත නවතා දමා ඇති බවට අසත්‍ය හා නොමඟ යවනසුලු පුවත් වාර්තාවක් පළ කර ඇති බැවින්, ඒ පිළිබඳව නිවැරදි තොරතුරු මහජනතාවගේ අවධානයට යොමු කිරීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කැමැත්ත පළ කරයි.
එම පුවත් වාර්තාවේ අඩංගු චෝදනා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එහි සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත සහ විකෘති කරන ලද ප්‍රකාශයන් බව දැනුම්දෙනු ලැබේ.
තානාපති කාර්යාලය කිසිදු අවස්ථාවක දහම් පාසල නතර කර නොමැත. එසේ වුවද, නව ස්ථානයකට තානාපති කාර්යාලය ගෙන යාමෙන් අනතුරුව ඇති වූ ඉඩකඩ සීමාකිරීම් මධ්‍යයේ වුවද, දහම් පාසල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇත.
නව ස්ථානයට ගෙන යාමෙන් අනතුරුවද, සති අන්තවලදී තානාපති කාර්යාල පරිශ්‍රයේ දහම් පාසල් පන්ති අඛණ්ඩව පැවැත්වීම සඳහා වහාම සුදුසු විධිවිධාන සලසා තිබුණි. එමෙන්ම, 2026 වෙසක් භක්ති ගීත ගායනය සඳහා තානාපති කාර්යාලයට පැමිණීමට අවසර ලබා නොදුන් බවට කරන ලද ප්‍රකාශයද සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.
සැබවින්ම, රියාද්හි ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2026 වෙසක් උත්සවය සංවිධානය කළ තානාපති කාර්යාලය, දරුවන් හා වැඩිහිටියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සඳහා තානාපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් භක්ති ගීත පුහුණුවීම් පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ද සලසා දී තිබුණි.
එබැවින්, මෙවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් පළ වන අසත්‍ය, තහවුරු නොකළ සහ නොමඟ යවනසුලු පුවත් වාර්තා පිළිබඳව මහජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටී.