බෙල්ලන්විල හොල්ලපු ඝාතනය ගැන සියල්ල හෙළිවෙයි

Report

සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් අතර වෙඩික්කරු ලෙස සැක කෙරෙන පුද්ගලයා යුද හමුදාවෙන් පලාගිය අයෙකු වන අතර, මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැහැරගෙන යෑමේ සිද්ධියකටද සම්බන්ධ සැකකරුවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වෙඩි තැබීම ඊයේ (25) රාත්‍රී 7.45ට පමණ දෙහිවල–බොරලැස්ගමුව මාර්ගයේ බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසල පිහිටි අවන්හලක් ඉදිරිපිටදී සිදුව තිබේ. පොලිස් විමර්ශනවලට අනුව, ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අවන්හලේ හිමිකරු ඉලක්ක කර වෙඩි තබා පලාගොස් ඇත.

බෙල්ලන්විල අවන්හල් හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

බෙල්ලන්විල අවන්හල් හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අවන්හල් හිමිකරු අවන්හල ඉදිරිපිට දුම්වැටියක් පානය කරමින් සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් උදරයට තුවාල ලැබූ ඔහු අවන්හල තුළට දිව ගොස් තිබේ. පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හලේ හිමිකරු වන 55 හැවිරිදි මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ මහතාය. සිද්ධියෙන් අනතුරුව බොරලැස්ගමුව පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ අනෙකුත් පොලිස් කණ්ඩායම් එක්ව විමර්ශන ආරම්භ කළ අතර, පළමු විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන "කොස් මල්ලි" නමැත්තාගේ ඥාතියෙකු බවයි.

ඒ අනුව, "කොස් මල්ලි" සමඟ ප්‍රතිවිරෝධතා පැවැත්වූ "සැන්ඩෝ" හෙවත් "අසංක" නමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වෙඩි තැබීමට යොදාගත් ස්කූටර් යතුරුපැදිය සම්බන්ධ තොරතුරු දිවයින පුරා පොලිස් මාර්ග බාධකවල රාජකාරියේ නිරත නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව, එම විස්තරවලට ගැළපෙන යතුරුපැදියක් සහ පුද්ගලයන් දෙදෙනෙකු නවගමුව ප්‍රදේශයේ සැරිසරන බව පොලිසියට නිරීක්ෂණය වී ඇත.

පොලිස් නිලධාරීන් ඔවුන් ලුහුබැඳ යාමේදී, නවගමුව නිස්සරණ සිත්බිම පොදු සුසාන භූමිය අසල යතුරුපැදිය නවත්වා මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉවත් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී "අයිස්" මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ජංගම දුරකථන පරීක්ෂාවේදී බෙල්ලන්විල ඝාතනයට අදාළ හඬ පට කිහිපයක්ද හමු වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

බෙල්ලන්විල අවන්හල් හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

බෙල්ලන්විල අවන්හල් හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

ඒ අනුව, සැකකරුවන් දෙදෙනා ඝාතන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (26) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.