සමාජ මාධ්‍ය කැළබූ වීඩියෝවේ නිල ඇඳුමෙන් ඉඳන් සෙනඟට තර්ජනය කළ SIට වැඩ වරදී

Report

වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. මහජනතාව සමඟ උණුසුම් බහින්බස්වීමක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ, සිද්ධිය ජූලි 23 වැනිදා පෙරවරු 10.45ට පමණ වතුපිටිවල රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී සිදුව ඇති බවයි.

නිල ඇඳුමින් සැරසී රාජකාරියේ නිරතව සිටි එම නිලධාරියා, පොලිස් නිලධාරියෙකුගෙන් අපේක්ෂා කරන වෘත්තීය මට්ටමේ හැසිරීමට නොගැළපෙන අයුරින් කටයුතු කර ඇති බවත්, මහජනතාව සමඟ වාද කරමින් සිටියදී තර්ජනාත්මක ස්වරයක් භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

එවැනි හැසිරීම ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ කීර්තිනාමයට හානිදායක විය හැකි අතර, අනෙකුත් නිලධාරීන්ටද අයහපත් පූර්වාදර්ශයක් සැපයිය හැකි බව පොලිසිය පෙන්වා දී තිබේ.

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

ඒ අනුව, ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත. නීතිය හා විනය ආරක්ෂා කිරීමේ වගකීම දරන නිලධාරීන්ගේ නුසුදුසු හෝ විනය විරෝධී හැසිරීම් කිසිදු ආකාරයකින් නොඉවසන බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළේය.