තවත් මාරාන්තික රෝගයක් ගැන ලංකාවටම රතු එළි - මේ රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් කළ යුතු දේ ජනතාවට දන්වයි
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත්තේ සමාජයේ 'මී උණ' වශයෙන් හඳුන්වන Leptospirosis රෝගය ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර, එයින් සිදුවන මරණ සංඛ්‍යාවද සාපේක්ෂව ඉහළ බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
මෙම රෝගය මීයන්ගේ මූත්‍රවල පවතින Leptospira බැක්ටීරියාව මිනිස් ශරීරයට සමේ කුඩා සීරීම්, ඇස් හෝ ශ්ලේෂ්මල පටල හරහා ඇතුළුවීමෙන් වැළඳෙන බව එම සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාත් මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
එසේම ඔහු සඳහන් කළේ ගොවීන්, කුඹුරු හා මඩබිම් ආශ්‍රිතව සේවය කරන පිරිස්, කානු පද්ධති පිරිසිදු කරන කම්කරුවන්, ගොඩ වගාවල නියැලෙන පුද්ගලයන් මෙන්ම පුරන් වූ කුඹුරු හා වගුරුබිම් ආශ්‍රිතව ක්‍රීඩා කරන දරුවන්ද මී උණ වැළඳීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් බවයි.
එමෙන්ම ප්‍රසාත් මහතා පෙන්වා දුන්නේ දියකඩිති, නිසල ජලය රැඳී ඇති ස්ථාන සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමේදීද රෝගය වැළඳීමේ අවදානමක් පවතින බැවින් එවැනි අවස්ථාවලදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
එමෙන්ම මඩ සහිත පරිසරයක වැඩ කිරීමට පෙර ඩොක්සිසයික්ලීන් (Doxycycline) නැමැති මී උණ වැළැක්වීමේ ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව ලබාගැනීම ඉතා වැදගත් බවත්, එය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් නොමිලේ ලබාගත හැකි බවත් ඔහු පවසයි. එසේ වුවත් එම ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව නිසි මාත්‍රාවෙන් පමණක් භාවිත කළ යුතු බවද අවධාරණය කර ඇත.
ඊට අමතරව ඔහු පෙන්වා දෙන්නේ මී උණ සහ ඩෙංගු රෝගවල මුල් රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වන අතර උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ ඇස්යට වේදනාව වැනි ලක්ෂණ මතුවිය හැකි බවයි.
ඒ අනුව එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය රුධිර පරීක්ෂණ සිදුකර රෝගය නිවැරදිව හඳුනාගැනීම අත්‍යවශ්‍ය බවද එම්.ඒ.සී. ප්‍රසාත් මහතා සඳහන් කරයි.
තවද මී උණ රෝග ලක්ෂණ මතුවූ විට නිවසේ සිට ස්වයං ප්‍රතිකාර කිරීම, සාම්ප්‍රදායික ඖෂධ භාවිත කිරීම හෝ කල්මැරීම ඉතා අනතුරුදායක බවත්, හැකි ඉක්මනින් රජයේ හෝ පෞද්ගලික සෞඛ්‍ය ආයතනයකට ගොස් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් ජීවිත අවදානම අවම කරගත හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.