මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාරිභෝගිකයන්ගෙන් තැන්පතු භාර ගනිමින් ප්රතිලාභ ගෙවනු ලබන වැවිලි සමාගම් පිළිගැනීමේ හෝ අනුමත කිරීමේ කිසිදු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොමැති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අනුමැතියක් හිමිව නොමැති බව අධිපතිවරයා කියා සිටියා.
එසේම මෙවැනි තැන්පතු ලබාගැනීමේ ව්‍යාපාර නීති විරෝධී ආකාරයට සලකන බවත්, ඒවායේ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත් මහ බැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විටත් එවැනි යෝජනාක්රමවල මුදල් ආයෝජනය කර ඇත්නම්, එම මුදල් යළි ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ කිරීමට නොහැකි වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිසියට හෝ මහ බැංකුවට පැමිණිලි කරන ලෙසත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දෙයි.
ඒ අනුව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, එවැනි සමාගම්වලට නීත්‍යානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය නම්, මුදල් සමාගමක් වශයෙන් ලියාපදිංචි වීම එකම විකල්පය බවත්, එසේ නොමැතිව තැන්පතු භාරගැනීම ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත් ය.