1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අවසන් නැති අතර මෙයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරි දින කිහිපය වෙන්කර ඇතැයිද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදීය. අධ්‍යාපන යටිතල සංවර්ධනය සහ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා අගමැතිනියගේ ප‍්‍රමුඛත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මූලික සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සියලු අදහස් සලකා බලමින් අවසානයේ ප්‍රතිසංස්කරණ යෝජනාවක් සැකසීමට නියමිත බවත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
පළමුව 1 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවත්, නව ලෝක සංකල්පයන්ට අනුකූලව දරුවන්ට භාෂා, ගණිත, සෞන්දර්ය සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට අවධානය යොමු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
අද වනවිට විෂය නිර්දේශ තුළ තාක්ෂණයට අවශ්‍ය ප්‍රමුඛතාව නොලැබීමත්, ලෝකය පුරා අධ්‍යාපන ක්‍රමවේදයන් වෙනස් වී ඇති තත්ත්වයත් සැලකිල්ලට ගෙන, මෙරටේද එවැනි යාවත්කාලීන කිරීමක් අවශ්‍ය බව රජය පිළිගනිමින් පවතී.
මෙම සාකච්ඡාවට ඕනෑම පාර්ශ්වයකට සහභාගී විය හැකි අතර, විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එන චෝදනා පිළිබඳව කිසිදු කලබලයක් නැති බවද අමාත්‍යවරයා පැවසීය. ඉතිහාසය, සංස්කෘතිය, තාක්ෂණය, ගණිතය සහ තර්කය ඇතුළත් විශිෂ්ට පදනමකින් යුත් දරුවෙකු සෑදීම තම අරමුණ බවද ඔහු අවධාරණය කළේය.
මීළඟට, පාර්ලිමේන්තුව තුළද මෙම යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් සැලසෙනු ඇති අතර, අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය අය කණ්ඩායම් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමට ආරාධනා කරන බවත් ඔහු සදහන් කළේය.
අවසානයේදී, මේවා සියල්ල සලකා බලමින් ජාතියට උපරිම ප්‍රයෝජනයක් ලබාදිය හැකි පරිදි ශක්තිමත් ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ඔහු විශ්වාසයෙන් පවසයි.
එමෙන්ම, මාධ්‍ය ආයතනවලටද මේ සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සෘජුව සාකච්ඡා කිරීමට ආරාධනා කරන බව අමාත්‍යවරයා අවසන්වදී ප්‍රකාශ කළේය.
