ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාරිසරික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
හරිත හා තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා සඳහන් කරයි.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතා ඊයේ (24) හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම හමුවේදී COP31 දේශගුණික සාකච්ඡා, දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම හා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, දේශගුණික මූල්‍යකරණය, අලාභ හා හානි පියවීමේ යාන්ත්‍රණයන් සහ ඉන්දු–පැසිෆික් කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කර ඇත.
තවද, නිල් කාබන් පද්ධති, සාගර දූෂණය පාලනය, සාගර විද්‍යා පර්යේෂණ, ආපදා අවදානම් කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැනි නව සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳවද අවධානය යොමු කර තිබේ.
ඕස්ට්‍රේලියාව විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය අගය කළ අමාත්‍යවරයා, දේශගුණික අනුහුරුකරණය, සාගර හා වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂාව, ආපදා අවදානම් අවම කිරීම සහ තාක්ෂණික සහාය වැනි ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන අයුරින් වර්ධනය කිරීමට ලබාදිය හැකි සහය පිළිබඳවද මහ කොමසාරිස්වරයා පැහැදිලි කර තිබේ. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.