යුද්ධේ මැද්දේ සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවයි - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සිය රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති අතර, ඒ පිළිබඳ නිල නිවේදනය ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද නිකුත් කරනු ලැබ ඇත.
හෙට සිට ක්‍රියාත්මක වන මෙම තහනම ඉදිරි මාස හයක කාලයක් පුරා බලපැවැත්වෙන අතර, මෙම තීරණයට ප්‍රධානතම හේතුව ලෙස රජය පෙන්වා දෙන්නේ ඉරානයේ සිට සංචාරක වීසා මත පැමිණෙන පුද්ගලයන් ඔවුන්ගේ වීසා කාලය අවසන් වූ පසුව ද නැවත සිය රට බලා යාමට ඇති නොකැමැත්ත හෝ පවතින වාතාවරණය හමුවේ ආපසු යාමට නොහැකි වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබීමයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි දරුවන් සිටින ඉරාන ජාතිකයන්ට සහ දැනටමත් දිගුකාලීන වීසා බලපත්‍ර හිමි පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන අතර ඔවුන්ට පෙර පරිදිම එරටට පැමිණීමට අවස්ථාව හිමි වේ.
වාර්තා වන අන්දමට මේ වන විටත් ඉරාන ජාතිකයන් 7,000ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා සංචාරක වීසා බලපත්‍ර ලබාගෙන ඇති අතර, ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය දේශපාලනික තත්ත්වයන් හමුවේ ජාතික අවශ්‍යතාවය සලකා මෙම දැඩි පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තීරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, ඔවුන් මෙය හඳුන්වන්නේ අසාධාරණ පියවරක් ලෙසටයි.
මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පිරිසක් දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම වැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට රජය මෙලෙස කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරන අතර, සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයන් පවතින රටවලින් පැමිණෙන පුද්ගලයන් සංචාරක වීසා මගින් එරටට ඇතුළු වී පසුව දේශපාලන රැකවරණ පැතීම සාමාන්‍ය ක්‍රමවේදය බව ද ඔවුහු පෙන්වා දෙති.