යෞවන සමාජ දේශපාලනීකරණය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශය
මෙරට යෞවන සමාජ දේශපාලන බලපෑම්වලින් තොරව පවත්වාගෙන යා යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
යෞවන සමාජවල දේශපාලනීකරණය සහ ඒවා අතර ඇතිව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී ඔහු යෝජනා කළේ, අමාත්‍යවරයා විසින් හිටපු නිලධාරීන් මෙන්ම වත්මන් නිලධාරීන් සමඟ සාකච්ඡා කර, දෙපාර්ශ්වයටම සාධාරණ විසඳුමක් ලබාදිය යුතු බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය;
"ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි.
ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා. මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා. දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.
මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න.
මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි"