මුතුවැල්ල මුහුදු තීරයට ඩීසල් කාන්දුවක් - පාලනයට විශේෂ මෙහෙයුමක්
කොළඹ මුතුවැල්ල ධීවර වරාය ආසන්න මුහුදු තීරයට ඩීසල් තෙල් කාන්දුවීමක් සිදුවීමත් සමඟ එය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත .
ඊයේ (21) කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තයට (JCT) අයත් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ගබඩා ටැංකියක නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ඩීසල් කාන්දුව සිදුව ඇති බව සදහන්ය.
කාන්දු වූ ඩීසල් ප්‍රදේශයේ ප්‍රධාන ජලාපවහන ඇළ මාර්ගයක් ඔස්සේ ගලා ගොස් මුතුවැල්ල ධීවර වරාය ආසන්නයෙන් මුහුදට එක්ව ඇත.
මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම්, තෙල් තවදුරටත් මුහුදට පැතිර යාම වැළැක්වීම සඳහා ඇළ මාර්ගය මුහුදට විවෘත වන ස්ථානයේ විශේෂ තෙල් පාලන බාධකයක් (Fence Boom) ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.
මේ අතර, වෙරළ තීරයට පැමිණ ඇති ඩීසල් ඉවත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත කාන්දු වූ සියලුම ඩීසල් ඉවත් කර පරිසරයට සිදුවිය හැකි බලපෑම් අවම කරමින් තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටිනු ලබයි