ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන තුන් හැවිරිදි කුඩා දරුවෙකුගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකට සහ කාන්තා සහායිකාවකට එරෙහිව පොලිසිය නඩු පවරා තිබේ.
තමිල්නාඩුවේ තිරුවාරූර් දිස්ත්‍රික්කයේ තිරුතුරයිපූන්ඩි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට මෙම සිදුවීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සිදුවීම පාසලේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ ද සටහන්ව ඇති අතර, එම දර්ශනවල දරුවාගේ දෑත් බැඳ තිබියදී නිදහස් වීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකිය.
එක් දර්ශනයක දරුවා බැඳ තිබූ ලණුව දත්වලින් සපා ඉවත් කිරීමට උත්සාහ කරන අයුරු ද තවත් දර්ශනයක ඔහු වේදනාවෙන් හෝ අපහසුතාවයෙන් කෑගසන අයුරු ද සටහන්ව තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, දරුවා දඟකාර ලෙස හැසිරීම සහ ගුරුවරියගේ උපදෙස්වලට අවනත නොවීම හේතුවෙන් කාන්තා සහායිකාව විසින් ඔහු ප්ලාස්ටික් ආවරණයක ඔතා දෑත් බැඳ තබා ඇතැයි චෝදනා එල්ල වී තිබේ.
ට්‍රම්ප්, පුටින් සහ ෂීගේ හමුවේ තීරණාත්මක හමුවේ සාකච්ඡා වන කරුණු එළියට - ලෝක දේශපාලනයට සිදුවන බලපෑම මෙන්න
මෙම සිදුවීම අතරතුර දරුවා ඇද වැටීම හේතුවෙන් ඇස ආසන්නයේ තුවාලයක් ද සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මාධ්‍යයට පවසා ඇත්තේ මෙම සිදුවීමට ප්‍රධාන වශයෙන් කාන්තා සහායිකාව වගකිව යුතු බවත්, සිදුවීම සිදුවන අවස්ථාවේ ගුරුවරිය කිසිදු මැදිහත්වීමක් නොකර බලා සිට ඇති බවත්ය.
දරුවා පාසල නිමවී නිවසට පැමිණි පසු සිරුරේ තුවාල තිබීම පිළිබඳව පියා විමසීමේදී ගුරුවරිය සහ කාන්තා සහායිකාව තමන්ට පහර දුන් බව දරුවා පවසා තිබේ.
ඒ අනුව පියා පාසලට ගොස් පන්ති කාමරයේ CCTV දර්ශන පරීක්ෂා කර ඇති අතර, පසුව එම දර්ශන සිය ජංගම දුරකථනයෙන් පටිගත කර පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ළමා හිංසනය සහ නොසැලකිලිමත්කම යන චෝදනා යටතේ ගුරුවරියට සහ කාන්තා සහායිකාවට එරෙහිව පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මේ අතර, අදාළ සිදුවීමෙන් පසු පාසල් පාලනාධිකාරිය විසින් එම සේවිකාවන් දෙදෙනාගේ සේවය අවසන් කර ඇති බව ද වාර්තා වේ.