නොවැම්බර් 30 වැනිදා රටම නවතී - වෘත්තීය සමිති රැසක් රජයට දැඩි අනතුරු ඇඟවීමක් කරයි
සිය ඉල්ලීම්වලට රජය නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් එළඹෙන නොවැම්බර් 30 වැනිදා දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට වෘත්තීය සමිති රැසක් රජයට අනතුරු අඟවා තිබේ.
මෙවර අයවැයෙන් අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් විවිධ පාර්ශ්ව මේ වනවිටත් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටින පසුබිමක මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
මේ අතර, අයවැයට විරෝධය පළ කරමින් ගුරු, විදුහල්පති සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති හෙට (23) වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම් කර ඇත.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ තෙවැනි අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
"ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය යුගයකට" යන තේමාව යටතේ ඉදිරිපත් කළ එම අයවැයෙන් අපේක්ෂිත සහන නොලැබුණු බව පවසමින් පාර්ශ්ව රැසක් දින කිහිපයක් පුරා සිය විරෝධය පළ කරමින් සිටියි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සඳහන් කරන්නේ හෙට පැවැත්වීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සංගමය එක් නොවන අතර, එළඹෙන 30 වැනිදා වෙනම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
මේ අතර, හෙට දිනයේදී සෞඛ්‍ය ක්ෂේත්රයට අයත් වෘත්තීය සමිති කිහිපයක් ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට නියමිතය. මීට අමතරව, තවත් රාජ්‍ය ආයතන නියෝජනය කරන අංශ රැසක් ද මෙම විරෝධතා ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතව තිබේ.
මේ අතර, අයවැයෙන් සහන ලබාදෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ රැසක ගුරුවරු අද (22) දිනයේදීත් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වූහ.