මාතලේ පොලීසිය කළඹමින් හදිසි මරණයක් - පොලිසියේ සිටි සැකකරුවෙකු මරුට
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමට රැගෙන යමින් සිටියදී අද (20) අලුයම මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු ඊයේ (19) මාතලේ, හිත්ගොල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,010ක් ළඟ තබාගෙන සිටියදී මාතලේ පොලිස් දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මාතලේ පොලිස් ස්ථානයේ අංක 1 සිර මැදිරියේ රඳවා තබා ඇත.
කෙසේ වෙතත්, අද අලුයම සැකකරු හදිසියේ රෝගාතුර වී ඇති අතර, ඒ අනුව ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීම සඳහා රැගෙන යාමට පියවර ගෙන තිබේ.
නමුත් රෝහලට රැගෙන යන අවස්ථාව වනවිටත් ඔහු මියගොස් සිටි බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
එමෙන්ම මහනුවර සහ ග්‍රෑන්ඩ්පාස් ඇතුළු පොලිස් ස්ථාන 10ක පමණ ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පවතින බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.