කුසලානය දිනූ සතුට මැද ආර්ජන්ටිනා තරුවක් කැමරාව ඉදිරියේ ඇද වැටෙයි
බොකා ජූනියර්ස් කණ්ඩායම සමඟ කුසලානයක් දිනාගැනීමෙන් මිනිත්තු කිහිපයකට පසු ආර්ජන්ටිනා මැදපෙළ ක්‍රීඩක ලියැන්ඩ්‍රෝ පරේඩෙස් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී හදිසියේ ඇද වැටී තිබේ.
32 හැවිරිදි පරේඩෙස් මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ කොලොම්බියාවේ බැරන්කිලා නගරයේ පැවති තරගයකින් අනතුරුවය.
එහිදී බොකා ජූනියර්ස් කණ්ඩායම බ්‍රසීලයේ ඇට්ලෙටිකෝ මිනෙයිරෝ කණ්ඩායම ගෝල 2-0කින් පරාජය කරමින් කොපා සුදමෙරිකානා කුසලානය දිනාගත්තේය.
තරගයේ දෙවැනි අර්ධයේදී පරේඩෙස් ක්‍රීඩා පිටියෙන් ඉවත් කර තිබූ අතර, තරගයෙන් අනතුරුව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්ව සිටියදී ඔහු හදිසියේම ඇද වැටී ඇත. එම අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡාව සිදුකළ මාධ්‍යවේදියා ඔහු බිම වැටීම වැළැක්වීමට උත්සාහ කරන අයුරු ද දර්ශනවල සටහන් වී තිබේ.
පසුව ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පරේඩෙස්ට ඇවිදගෙන ක්‍රීඩක විවේකාගාරය වෙත යාමට හැකි වී ඇති අතර, කණ්ඩායමේ ජයග්‍රහණ සැමරුමටද ඔහු එක්ව තිබේ.
සිද්ධියෙන් පසු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට ඇතිවූයේ ක්ලාන්ත ගතියක් පමණක් බවයි.

තමන්ගේ සුවදුක් විමසමින් පණිවිඩ එවූ සියලු දෙනාටද ඔහු ස්තූතිය පළ කර තිබේ. තරගයට පෙර සිටම එම ප්‍රදේශයේ පැවති අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පිළිබඳව අවධානය යොමුව තිබිණි.
එදින උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් දක්වා ඉහළ යා හැකි බවටත්, ආර්ද්‍රතාව සියයට 80ක් පමණ විය හැකි බවටත් කාලගුණ අනාවැකි පළ කර තිබුණි.
බොකා ජූනියර්ස් පුහුණුකරු රොඩොල්ෆෝ අරුආබරේනා පවසා ඇත්තේ පළමු අර්ධයේ අවසන් භාගයේදී පරේඩෙස්ට ක්ලාන්ත ගතියක් ඇතිවූ බව තමන් නිරීක්ෂණය කළ බවයි.
විවේක කාලයේදී ඔහුගේ තත්ත්වය තරමක් යහපත් වූ නමුත් දෙවැනි අර්ධයේ මිනිත්තු 10ක් පමණ ගතවීමෙන් පසු නැවතත් ඔහු අපහසුතාවට පත්ව සිටි බව පුහුණුකරු සඳහන් කර තිබේ.
පරේඩෙස් සිය පාපන්දු දිවිය බොකා ජූනියර්ස් කණ්ඩායමෙන් ආරම්භ කළ අතර, 2015 වසරේදී යුරෝපයට පිවිසියේය. එහිදී ඔහු පැරිස් සෙන්ට් ජර්මේන්, රෝමා සහ ජුවෙන්ටස් යන කණ්ඩායම් නියෝජනය කළේය.
මෙම ජයග්‍රහණයත් සමඟ බොකා ජූනියර්ස් කණ්ඩායමේ වසර 18ක ජාත්‍යන්තර කුසලාන නියඟය අවසන් වී තිබේ.
එමෙන්ම 1960 වසරේ සිට දිනාගත් 19 වැනි ජාත්‍යන්තර කුසලානයත් සමඟ දකුණු ඇමරිකාවේ වැඩිම ජාත්‍යන්තර කුසලාන දිනාගත් ක්‍රීඩා සමාජය බවටද බොකා ජූනියර්ස් පත්ව ඇත.
2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්කර ගනිමින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් බංග්ලාදේශයේදී පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර තිබේ.
පසුගියදා බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හමුවක් අතරතුරදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බව සඳහන් වුවද, තරගාවලිය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.
අදාළ රටවල් දෙකෙහි ක්‍රිකට් පාලක මණ්ඩල මේ වන විට යෝජනාව සලකා බලමින් සිටින අතර, ඔවුන්ගේ අවසන් එකඟතාව ලැබීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. බංග්ලාදේශය අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබාදී ඇත්තේ 2016 වසරේදීය.
එම තරගාවලිය විස්සයි20 ආකෘතියෙන් පැවති අතර, එහි අනුශූරතාව දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
තමීම් ඉක්බාල්ගේ සභාපතිත්වයෙන් යුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන පළමු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.